Tuesday, October 22, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය : රජයේ අධිනීතීඥ මලික් අසීස් ලබන සතියේ CIDයට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් නම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදියා සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව 2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එවූ ලිපිගොනුව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන එය වසර එකහමාරක් තමන් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතීඥ මලික් අසීස් මහතාව ලබන සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඒ මහතාව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිතය.

2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සහරාන් සහ තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද ලිපි ගොනුවේ සඳහන්ව තිබුණු සාක්ෂි අනුව ඔහුව ජාතීන් අතර අසමගිය ඇති කිරීමට තැත්කිරීම යන චෝදනාව මත ICCPR පනත යටතේ අත් අඩංගුවට ගැනීමේ හැකියාව තිබුණු නමුත් තමන්ට එසේ උපදෙස් ලබාදීම මඟහැරුණු බවත් එදා එසේ සහරාන් හෂීම්ව අත් අඩංගුවට ගන්නා ලෙස තමන් උපදෙස් ලබාදුන්නේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබුණු බවත් මලික් අසීස් මහතා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පිළිගත්තේය.

තත්වය එසේ තිබියදීත් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත් අඩංගුවට ගැනීමට නිවේදන පිට නිවේදන නිකුත් කළ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය මලික් අසීස් අධිනීතීඥවරයාව අත් අඩංගුවට ගැනීමට මෙතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචන මතුව ඇති අතර නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොකරන බවටත් ප්‍රහාරයට වගකිවයුත්තන් ආරක්ෂා කරන බවටත් නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට චෝදනා එල්ල වෙමින් පවතී.

(LNW)