Tuesday, October 22, 2024
Follow Us
‘පෙටා පියෙස්ටා’ වෙළෙඳ ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් අද ඇරැඹෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු තොග සහ සිල්ලර වෙළෙඳාම යළි පණ ගැන්වීමේ අරමුණින් කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන 'පෙටා පියෙස්ටා' විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදේ 11‍.00ට කොළඹ මහවීදියේ දී ආරම්භ වේ.

ඉකුත් අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා දින සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයන් නිසා සුළු හා මධ්‍ය පරිමාණ පමණක් නොව මහා පරිමාණ වෙළෙඳාමේ පවා බිඳ වැටීමක් සිදු විණි. මේ තත්ත්වය නිසා බැංකු ණය, වාහන හා උපකරණවලට ලබාගත් ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූ සහ නිසි පරිදි බදු ගෙවීමට නොහැකි වූ පිරිස් වෙත යළි ‍ප්‍රබෝධයක් ඇති කොට වෙළෙඳාම් දියුණු කිරීමට උත්තේජනයක් ඇති කිරීමේ අරමුණින් මේ ප්‍රදර්ශනය සංවිධාන කළ බව කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රදර්ශනය අදත් (10) හෙටත් (11) පැවැත්වේ. ප්‍රදර්ශනය සහ සැණකෙළිය නැරැඹීමට එන බාල, තරුණ, වැඩිහිටි, මහලු සියලු දෙනා වෙනුවෙන් අඩු මිලට ආහාර පාන, විනෝදාස්වාදය ලබාදෙන ක්‍රීඩා, සංගීත ප්‍රසංග ආදිය සංවිධාන කොට තිබේ.

‍කොළඹ නගරය කේන්ද්‍ර කොට රෙදි පිළි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, විදුලි උපකරණ, ගෘහ උපකරණ, ප්‍රමුඛ සෑම වෙළෙඳ භාණ්ඩ හා සේවාවකම 50% - 60%ක් වැනි සුවිශේෂී වට්ටම් සහිතව ගනුදෙනුකරුවන්ට අඩු මිලට ලබා ගැනීමට ‘පෙටා පියෙස්ටා‘ ප්‍රදර්ශනයෙන් අවස්ථාව ලැබෙන බව කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කරයි.

මේ වෙළෙඳ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා ඇමැතිවරුන් වන ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, රාජ්‍ය ඇමැතිවරුන් වන බුද්ධික පතිරණ, රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, වැ.බ. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්වරු ප්‍රධාන සම්භාවණීය අමුත්තෝ එක්ව ලබාදුන්නේ විශාල ශක්තියක් බව චමින්ද විදානගමගේ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික නවෝදය උදෙසා කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සාමාජිකයන් දක්වන උනන්දුව පිළිබඳ ජාත්‍යන්තරයට කරුණු කියාපෑමට මේ ප්‍රදර්ශනය අවස්ථාවක් කර ගන්නා බව පැහැදිලි කළ චමින්ද විදානගමගේ මහතා මේ සඳහා අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරු එක්වීම විශේෂත්වයක් වේ.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශයන්හි තොග ‍සහ සිල්ලර වෙළෙඳාමේ නිරත පිරිස් ‍වෙත කිසිදු භේදයකින් තොරව පෙර පරිදිම වෙළෙඳාම සිදු කිරීමට අවකාශ සැලසීම, කිසිදු බියක් සැකක් නැතිව නැවත කොළඹට පැමිණ තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දුර බැහැර වෙළෙඳුන්ට අවස්ථාව තිබෙන බව දැන්වීමට මේ ප්‍රදර්ශනය සංවිධාන කොට ඇත. මේ සඳහා තම සංගමයේ සාමාජිකයන් විශාල කැපවීමක් සහ මහන්සියක් වෙමින් මෙය සංවිධාන කළ බව සිහිපත් කරමින් කරුණු දැක් වූ චමින්ද විදානගමගේ මහතා මෙවන් ප්‍රදර්ශන සෑම මාසයකට, තුනකට වතාවක් කොළඹින් පිට පැවැත්වීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව සඳහන් කළේය.

(Dinaina)