Tuesday, October 22, 2024
Follow Us
ජනපති ඝාතන කුමන්ත්‍රණ නාටකය : මාකඳුරේ මධුෂ් ඇප ඉල්ලයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රඳවා තබාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇප අයැදීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මධුෂ්ගේ නීතීඥයා විසින් ඊයේ (08) මෙම ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ තම සේවාදායකයා වෙනුවෙන් ඉහත කී ඝාතන කුමන්ත්‍රණ චෝදනාව මත ලබාගෙන තිබුණු රැඳවුම් නියෝගය ද අගෝස්තු 03 වනදායින් අවසන් වී ඇති අතර එය මේ දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කර නොමැති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අගෝස්තු 21 වනදා අධිකරණය හමුවට කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මාකඳුරේ මධුෂ් ඩුබායිහි අත් අඩංගුවට පත්වූ මොහොතේ සිට පොලිසිය විසින් ඔහුට එල්ල කළ මත්කුඩු ජාවාරම්, මිනීමැරුම් ඇතුළු කිසිදු චෝදනාවක් ඔප්පු කරගැනීමට නොහැකි වීමෙන් පොලිසිය උභතෝකෝටිකයක පැටළී සිටින බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර වාර්තා කළෙමු. එය මෙම ඇප ඉල්ලීම තුළින් ද සනාථ වී තිබේ.

(LNW)