Tuesday, October 22, 2024
Follow Us
බරපතළ අපරාධ දසදහසක් ගැන සීඅයිඩීයෙන් විමර්ශන

රට පැන්න 118කට රතු වරෙන්තු
80කට නිල් නිවේදන
හිටපු පොලිස්පතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට

ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ, වසිම් තාජුඩීන්, කිත්නෙයාර්, තරුණ සිසුන් 11ක් පැහැර ගැනීම ඇතුළු බරපතළ අපරාධ දසදහසකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ණවලට භාජනය වෙමින් පවති.

එම පරීක්ෂණ වාර්තා අතරට විදෙස්ගත අපරාධකරුවන් 118ක් සම්බන්ධයෙන් රතු වරෙන්තු ද 80කට නිල් නිවේදන ද නිකුත් කර තිබේ. මේ පිරිස අපරාධ සිදුකර විදෙස් රටවලට පැන සැඟවී සිටින අතර, ඔවුන් අතරින් උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් නිකුත් කර තිබේ. මේ වනවිට විදෙස් රටක පොලිස් අත්අඩංගුවේ සිටින උදයංග වීරතුංග මහතා සම්බන්ධ පරීක්ෂණ අවසන් වූ පසු මෙම රතු වරෙන්තු හරහා මෙරටට බාර දෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරි ශානි අබේසේකර මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුනසේකර මහතා පවසති.

මේ අතරින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයකු තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසයි.

මෙම පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පැවතිය දී එම හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනිම වළක්වා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂිත ඇප ඇයැදුමක් ඉදිරිපත් කර ඇති බව පැවැසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණය හමුවේ නඩුවක් පැවතුනත් මෙම පරීක්ෂණ ඉහළින් ම සිදුවෙමින් පවතින බවත්, කිසිදු ආකාරයකින් පරීක්ෂණ අවසන්වීමක් හෝ ලසන්ත ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අවසන්කර හෝ එම අපරාධයට සම්බන්ධ තවත් තොරතුරු හෙළිදරව් කර ගැනීම අවසන් වී නැති බවත් පැවැසීය.

ලසන්ත ඝාතන සිද්ධියට අමතරව මාධ්‍යෙව්දි ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පිරිස අතරින් එක් හමුදා නිලධාරියකු එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරේ රඳවාගෙන කළ කී දැ සහ ඉන් පසු ත්‍රිකුණාමලයට ගෙන ගොස් සිටි අවස්ථාව දක්වා සියලු තොරතුරු හෙළි කර ඇති බවත්, එක්නැලිගොඩ ඝාතනය කළා ද නැතහොත් ඉන් එහාට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළි නොකර ඇතැයි ද කීය. කෙසේ වෙතත් එක්නැලිගොඩ දෙවරක් පැහැර ගැනීම සිදුවී ඇත්තේ එකම කණ්ඩායමකින් යන්නත් මේ වනවිට තහවුරු වී ඇත. දුරකතන කුලුනු වාර්තා සහ තවත් සාක්ෂි රැසකින් මේ වනවිට ඒ බව තහවුරු වී ඇත. මේ වන විට එක්නැලිගොඩ අතුරුදන්වීම හා සම්බන්ධ පරීක්ෂණ අවසන් වී ඇත.

මේ අතර රගර් ක්‍රීඩක වසිම් තාජුඩින් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අමතරව තවත් ඊට සම්බන්ධ යැයි කියන ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම මේ වනවිට සිදු නොවුයේ ඔවුන් එම අපරාධයට සම්බන්ධ වූ බවට හරියටම තහවුරු වී නැති නිසා බැවින් ඔවුන්ගේ සම්බන්ධතාව තහවුරුකර ගැනීමට අදාළ පරීක්ෂණ ඉහළ මට්ටමකින් සිදුවෙන බවද කීවේය.

මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් එම අපරාධවලට යොමු කළ ප්‍රබලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවීම මේ වනවිටත් සිදු වෙමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරි ශානි අබේසේකර මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විභාග වෙමින් පවතින පරීක්ෂණ වාර්තා දසදහසකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයසියයක පමණ පිරිසකි. ඒඅතරින් විමර්ශන අංශ අටක් යටතේ මෙම විභාග සිදුවෙමින්පවතියි. මේවාට සම්බන්ධ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතරතුර ඉහත සඳහන් ආකාරයට දේශපාලනඥයන් ආරක්ෂක අංශවල පිරිස් රජයේ සහ පෞද්ගලික අංශවල ප්‍රබල පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් පරීක්ෂණවල ප්‍රගතිය මත බොහෝවිට අත් අඩංගුවට පත්වීමට ඉඩ ඇති බවද පවසයි.

(Dinamina)