Tuesday, October 22, 2024
Follow Us
මහින්දගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් නිදොස් කොට නිදහස් !

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ චෝදනාවලින් ඒ මහතා සහ අනෙක් තිදෙනා ද නිදොස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (08) නියම කළේය.

ඒ, එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව විභාග කෙරුණු අතර තීන්දුව ප්‍රකාශ කරමින් සම්පත් අබේකෝන් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිලි පාර්ශ්වය ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.

නීල් බණ්ඩාර හපුහින්න නම් විත්තිකරු මීට පෙරම අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර තිබුණු අද දිනයේදී ගාමිණී සෙනරත්, කුඩාබාලගේ පියදාස සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන් ද නිදොස්කොට නිදහස් කෙරිණි.

2014 පෙබරවාරි 01 - 2015 ජනවාරි 20 අතර කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කැන්විල් හෝල්ඩිං සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති පුද්ගලික සමාගමක යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබුණු මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබිණි.

මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගත් පළමු නඩුව ද වේ.

(LNW)