Tuesday, October 22, 2024
Follow Us
අලින් පලවා හැරිය හැකි විශේෂ සුවඳ දුම් කූරක් අත්හදා බලයි

කීර්තිමත් HDDES සමූහයට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන D'las International සමාගම විසින් පසුගියදා අති විශේෂ නව්‍යකරණ නිෂ්පාදනයක් වන වන අලින් පළවා හැරිය හැකි සුවඳ දුම් කූරක් පර්යේෂණ මට්ටමින් අත්හදා බැලීම සිදු කළේය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සුවඳ කූරු සන්නාමයක් වන AURA නිෂ්පාදනය කරන D'las International සමාගම ඊට අමතරව ජනප්‍රිය සහ උසස්ම තත්ත්වයේ සුවඳ විලවුන් නිෂ්පාදනයේ ලත් අත්දැකීම් සම්භාරය උපයෝගී කරගෙන මෙම නව නිෂ්පාදනය නිර්මාණය කර ඇත්තේ සිය සමාජ සත්කාර වෑයමක් වශයෙනි. මෙම නව සුවඳ දුම් කූර මේ වන විට නිකරවැරටිය සහ ගල්ගමුව යන වන අලි තර්ජනය බහුල ප්‍රදේශවල වන ජීවී නිලධාරීන් විසින් අත්හදා බලමින් පවතී. මේ යටතේ නිකවැරටිය නාවාන ප්‍රදේශයේ ගම්වාසීන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා දීමද පසුගියදා වනජීවී නිලධාරීන් විසින් සිදු කෙරිණි.

මෙම නව නිෂ්පාදනය මීට වසර කිහිපයකට පෙර සමාගම විසින් සංකල්පයට නඟන ලද අතර ඉන් පසුව කාලයක් පුරා පර්යේෂණ මට්ටමින් සංවර්ධනය කිරීම සිදු විය. මෙම නවෝත්පාදනය සඳහා මූලික වන්නේ වන අලින් අකැමති බවට විද්‍යාත්මකව තහවුරු කර ඇති ස්වාභාවික සුගන්ධයන් පිළිබඳව විද්‍යාත්මක සාධකයි. මෙම නව සුවඳ දුම් කූර නිෂ්පාදනය සඳහා භාවිත කරන ස්වාභාවික සුවඳ වර්ග වන්නේ ඉඟුරු, සේර, පැඟිරි, ගං කොලන් හෙවත් පැචෝලි සහ පැල්මාරෝසා යන ශාකසාර අමුද්‍රව්‍යයි. මෙම අමුද්‍රව්‍ය විශේෂ සූත්‍රයකට සංකලනය කර නිෂ්පාදනය කරන නව සුවඳ දුම් කූර දිගින් අඟල් 12 ක් වන අතර පැය 5 1/2 - 6 අතර කාලයක් දැල්වෙයි. මෙම සුවඳ දුම් කූරේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙහි සුවඳ දුම විසිරීම පොළොවට සමාන්තරව තිරස් අතට සිදු වීමයි. මේ නිසි මෙහි සුවඳ ඉතා පහසුවෙන් මීටර 20 ක පමණ දුරක් විහි දී යාම සිදු වෙයි.

(Dinamina)