Tuesday, October 22, 2024
Follow Us
කොළඹ කුණු දමන කෙරවළපිටියෙත් ධාරිතාව ඉක්මවා යයි

වත්තල, කෙරවළපිටිය කසළ අංගනය වෙත කසල බැහැර කිරීම නවතා දැමීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල කසළ රැසක් ගොඩ ගැසී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

ඇතැම් ප‍්‍රදේශවල ඊයේ (05) සිට කසළ ගොඩ ගැසී ඇති බවයි ඔවුන් සඳහන් කළේ. කෙරවළපිටිය කසළ අංගනයේ ධාරිතාව ඉක්මවා තිබීම හේතුවෙන් එය වෙත ගෙන එන කසළ භාර ගැනීම අත්හිටුවීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව තීරණය කළා.

මතුව ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙම කසළ ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාරගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල එක්රැස්ව ඇති කසළ පුත්තලම, අලූවක්කාලූ කසළ අංගනය වෙත බැහැර කිරීමට කටයුතු යොදා ඇති බවයි.

2017 වර්ෂයේදී මීතොටමුල්ල කසළ කන්ද නායයාමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල එක්රැස්වන කසළ බැහැර කෙරුණේ වත්තල, කෙරවළපිටිය කසළ අංගනය වෙතටයි.

(Neth)