Tuesday, October 22, 2024
Follow Us
විග්නේෂ්වරන්ගේ තීරණය ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක් දෙයි

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනාධිකරණය අද (05) තීන්දුවක් මගින් ප්‍රකාශයට පත් කළා.

මෙම තීන්දුව විනිසුරු මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව ඩෙනීෂ්වරන් වෙනුවට හිටපු මහඇමතිවරයා විසින් කළ පත් කිරීමද නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය තීන්දු කළ අතර එවැනි පත් කිරීමක් සිදු කිරීමට මහඇමතිවරයාට බලයක් නොමැති බව ප්‍රකාශයට පත් කරන ලදී.

තමන්ව අමාත්‍යධූරයෙන් නෙරපීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

දූෂණ චෝදනා එල්ල කරමින් තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් 2017 වසරේ අගෝස්තු මාසයේ දී තීන්දු කළ බව හිටපු ඇමතිවරයා මෙම පෙත්සමෙන් පවසා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයකු නෙරපීමේ බලය එම පළාතේ ආණ්ඩුකාරවරයාට පමණක් හිමි වන බවට පෙත්සම්කරු පවසා සිටියි.

(Neth)