Tuesday, October 22, 2024
Follow Us
"දරුවන් අද විභාගයට රැගෙන යන මොහොතේ විශය කරුණු විමසා බලපෑම් කරන්න එපා"

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (04) පැවැත්වෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 39, 369 ක්.

ඉන් දෙලක්ෂ 55, 529 ක් සිංහල මාධ්‍ය සිසුන්. සිසුන් 83, 840 ක් දෙමළ මාධ්‍යයෙන් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 2,995 ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497 ක් ද දිවයින පුරා ස්ථාපිතයි.

සැහැල්ලූ සිතින් යුතුව විභාගයට මුහුණ දෙන ලෙසයි විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත දැනුම් දෙන්නේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ ශිෂ්‍ය හිතකාමී විභාග ප‍්‍රශ්න පත‍්‍රයක් මෙවර ද සූදානම් කර ඇති බවයි.

ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 09.30 ට ආරම්භ වනවා. එය අවසන් වීමට නියමිතව ඇත්තේ මධ්‍යහන 12.00 ටයි. පළමු ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 09.30 සිට 10.15 දක්වා පැවැත්වෙනවා. දෙවන ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පෙරවරු 09.00 වනවිට විභාග අපේක්ෂකයින් ශාලාවල අසුන් ගත යුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එබැවින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසටයි සියලූ අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ.

මෙවර ද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරු දැරියන් වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව විශේෂ ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවක් කි‍්‍රයාත්මක කළා. මෙවර එහි විශේෂත්වය වූයේ රේඩියෝ සම්මන්ත‍්‍රණ මාලාවක් ලෙස එය කි‍්‍රයාත්මක වීමයි. ඊට එක්වූ ප‍්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන් ද නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ සියලු දරුවන් හොඳින් ප්‍රශ්න පත්‍රය කියවා පිළිතුරු ලිවීමට මතක තබා ගත යුතු බවයි. දෙමාපියන් ද අද දවසේ දරුවන්ව විභාග ශාලාව වෙත රැගෙන යන මොහොතේ විෂය කරුණු විමසමින් දරුවන් අපහසුතාවයට පත් නොකර සිටීමට වගබලා ගත යුතු බවද සඳහන් කළා.

අද දිනයේ විභාගයට පෙනී සිටින සියලූ සිසු දරු දැරියන්ට සුභ ප‍්‍රාර්ථනා කරන බවයි සම්පත් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන පාසල් ආශි‍්‍රතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද කි‍්‍රයාවට නංවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට නෙත් එෆ්. එම්. රේඩියෝව ද සුභාෂිංසන එක් කර සිටිනවා.