Tuesday, October 22, 2024
Follow Us
රට පුරා ගිලන් රථ රියදුරන් අද කොළඹදී විරෝධතාවයක

රට පුරා ගිලන් රථ රියදුරන් අද (31) කොළඹට පැමිණ උද්ඝෝෂණයකට සූදානම් වනවා.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප‍්‍රවාහන රියදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්. ඞී. විජේසිංහ සඳහන් කළේ "අපේ වැටුප් තල අද පවතින්නේ ප්‍රාථමික සේවාවක දාලා. ඒ වගේම අනෙක් සේවාවල නිලඇඳුම් දීමනාව 25000 දක්වා ගෙවනවා. අපේ නිල ඇඳුම් දීමනාව අඩුවෙන් ගෙවන්නේ. ඒක අපි වැඩි කරන්න කියලා ඉල්ලලා තියෙනවා. තවත් ඉල්ලීම් ගණනාවක් තියෙනවා. මේ සියලු කරුණු කාරණා නිසා අද දහවල් 12.00ට විශාල උද්ඝෝෂණයක් පවත්වනවා." යනුවෙනි.

අද පැවැත්වෙන මෙම උද්ඝෝෂණය සඳහා සෞඛ්‍ය සේවයේ අරක්කැමිවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද එක්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ජාතික රෝහල ඉදිරිපිට සිට පා ගමනකින් පැමිණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණය සිදුකරන බවද ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ද අද උද්ඝෝෂණයක් සිදු කිරීමට නියමිතයි. ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමයේ උප සභාපති නීල් අතුකෝරල කියා සිටියේ "අද දිනයේ සියලුම දකුණු පළාත් අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න නියමිතයි. ලංකාවේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවට ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් පත් කිරීමට විරුද්ධවයි මේ කාර්යය කරන්නේ." යනුවෙනි.

(Neth)