Tuesday, October 22, 2024
Follow Us
සාෆිට එරෙහි අවනඩුව: ජඩමාධ්‍ය යටගැසූ බරපතල කාරණා - 03 !

මැයි 23 වැනිදා බ්‍රහස්පතින්දා දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස 'දිවයින' පළ කර තිබූ බොරු කතාව යළි යළිත් දීර්ඝ ලෙස සිහිපත් කළ යුතු නැත.

කෙටියෙන් මෙසේය.

තවුහිත් ජමාත් දොස්තරවරයෙකු සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කර ඇති බව ඒ පුවතෙහි සඳහන් විය. පුවතට අනුව ඒ සැත්කම් පිළිබඳව තොරුතුරු රැසක් තිබිණි. ඒ ගැන 'පුළුල් විමර්ශන' ඒ පුවතට අනුව මැයි 23 වැනිදා වෙද්දිත් ක්‍රියාත්මක වෙමින් තිබුණි.

ෆේස්බුක් පුවත:

එහෙත් වෛද්‍ය සාෆිගේ සිදුවීමට අදාළ ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වන කිත්සිරි ජයලත් පැහැදිළිවම එවැනි පුළුල් පරීක්ෂණයක් නොතිබුණු බව කියා ඇත. සීඅයිඩීය නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා හේමන්ත රන්දුණුගේ ප්‍රවෘත්තියෙහි ඇති කරුණු තමන් කී බවට රන්දුණුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත. ඔහු කියන්නේ තමන් රන්දුණුට එවැනි තොරතුරක් නොදුන් බවයි. දුරකථන ඇමතුමක් ලබා දුන් මොහොතක තමන් කටකතාවක් ගැන පමණක් කී බව ඔහු කියා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය ජූලි 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ මෙසේ සඳහන් වෙයි.

'අදාළ වෛද්‍යවරයා සිංහල මව්වරුන් වඳ කිරීමට අදළ කටකතා පැතිරෙන බවත්, එය සනාථ කිරීමට කිසිදු පැමිණිල්ලක් 2019.05.23 වන දින ට පෙර ඔහු වෙත ලැබී නොමැති බවත්'

'තවද හේමන්ත රන්දුනු හා ඔහු සමග 2019.05.24 දිනෙන් පසුව ඔහු සමග සිදුකළ දුකථන සංවාද පටිගත කර ඇති බවත්'

'එම පුවත පළ කිරීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා වගකිව යුතු බවත් හේමන්ත රන්දුණු මාධ්‍යවේදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු ඔහුට දුරකථනයෙන් අමතා ඔහු අමාරුවේ වැටී ඇති බවත් ඔහු මුහුණු පොතේ පළ වූ ලිපියක් බලා පුවත් පළ කර ඇති බවත් යනුවෙන් තවත් කරුණු බොහොමයක් ලබාදෙමින් දීර්ඝ ප්‍රකාශයක් කර ඇත'.

හේමන්ත රන්දුණු මුළු රටම කැළඹූ ප්‍රවෘත්තිය ලියා ඇත්තේ ෆෙස්බුක් බැලීමෙන් යැයි හේමන්ත රන්දුණු තමන්ට පසුව ලබා දුන් දුරකථන ඇමතුම්වලදී පැවසූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සීඅයිඩීයට කියා ඇත.

මෙතැන් පටන් දිවයින පුවත්පතේ හැම ලිපියක්ම කියවද්දී ඔය කරුණ සිහිතබාගැනීම වැදගත්ය. ෆේස්බුක්වලින් බලා ප්‍රවෘත්ති ලියන්නේ කුමන පුවත්පතදැයි අප සිහිතබා ගත යුතුය.

පොලිසියේ ව්‍යාජ ලියවිලි:

දිවයින ප්‍රවෘත්තිය පළවුණේ මැයි 23 වැනිදාය. සේගු ෂියාබ්දීන් බොහොමඩ් සාෆිව අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක හරහා කුරුණෑගල අපාරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්ට මැයි 24 වැනිදා වෛද්‍ය සාෆි ෂියාබ්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ලබා දී තිබුණු බව සීඅයිඩීය හෙළි දරව් කරගෙන තිබේ.

2019 මැයි 24 වැනිදා රාත්‍රී 10 ට කුරුණෑගල පොලීසියේ අපරාධ අංශය අත්අඩංගුවට ගෙන තිබුණි. 1979 අංක 48 ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 7(1) යටතේ පැය 72ක් වෛද්‍ය සාෆිව රඳවා ගැනීමට කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකා‌රී ඩී.එම්.යූ. මහින්ද දිසානායක මහතා කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකට එදින නියෝග ලබා දී ඇත. පසුදින එනම් 25 වැනිදා ඔහුව සීඅයිඩීයට භාර දෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෛද්‍ය සාෆි භාරදීමෙන් පසු 2019 මැයි 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් උපදෙස් ලබා ගත් සීඅයිඩීය, වෛද්‍ය සාෆි දින 90 ක් රඳවා තබා ගැනීම සඳහා 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 9 (1) යටතේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගෙන් නියෝග ලබාගෙන ඇත.

අත්අඩංගුවට ගත් චෝදනා !

අත්අඩංගුවට ගෙන ඇත්තේ චෝදනා තුනක් යටතේය. තවුහිද් ජමාත් සංවිධානයේ මුදල් ලබාගෙන එම සංවිධානයේ අරමුණු ඉටු කිරීම සඳහා සිසේරියන් සැත්කම් කරමින් සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම එක් චෝදනාවකි.

දෙවැනි චෝදනාව අයථා ලෙස උපයාගත් මුදලින් වත්කම් ලබාගෙන ඇති බවයි.

තුන්වැන්න නම් ඔහු නිදැල්ලේ සිටියහොත් වෛද්‍යවරයාටත් ඔහුගේ නිවාසවලටත් අලාභයක් ඇති විය හැකි බවයි.

මේ අතරින් බරපතල චෝදනාව වන්නේ පළමුවැන්නයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගත්තේ ඒ චෝදනාව නිසායි. සීඅයිඩීයට පරීක්ෂණ පැවරුණේද ඒ පළවැනි චෝදනාව නිසයි. අයථා වත්කම් චෝදනාව අල්ලස් ‌හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් විමර්ශන කළ යුත්තකි. ඒ ගැනත් වෙනම කතා කළ යුතුය.

කෙසේ වෙතත් අපගේ මේ අවධානය ඔහුට පළවැනි චෝදනාව එල්ල කරන්නට තරම් ප්‍රමාණවත් කරුණු ඔහුව අත්අඩංගුවට ගත් මොහොත වෙද්දී තිබුණා ද යන්නයි. ෆේස්බුක් බලා ලීවායැයි කියන 'දිවයින' පුවත ප්‍රමාණවත් කරුණුක් ලෙස සැලකිය නොහැකිය.

ඉන්පසුව ඔහු සීඅයිඩීයට භාරදී තිබුණි. වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගැනීම ගැන මැයි 26 වැනිදා කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යොමු අංක එස්/පී/ඒ/4368/19 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පිටු 08 ක වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ සැකකරුට විරුද්ධව ඇති පැමිණිලි සඳහන් ප්‍රකාශ වශයෙන් සඳහන් කරමින් පුද්ගලයන් 10 දෙනෙකුගේ පැමිණිලි සටහන් කර තිබී ඇත. ඉන් 08 ක් වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගත් දිනය වන 24 වැනිදා 10 ට පෙර සටහන් කරගත් ප්‍රකාශ බව පොලීසිය සඳහන් කරයි.

පැමිණිලි 10 මෙන්න :

කෙසේ වෙතත් එම ප්‍රකාශ කළ පුද්ගලයන්ව යළි ප්‍රශ්න කිරීමෙන්, පොලිස් සටහන් පොත් පරීක්ෂා කිරීමෙන් සීඅයිඩීය ඒ ගැන නැවත සොයා බලා ඇත. ඒ අනුව ජූලි 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙහි එම සිදුවීම් 10 ගැනම කරණු සඳහන් කර ඇත.

පළමු පැමිණිලිකරු චලිතා මධුමාලි:

පළමු පැමිණිලිකරු රූපසිංහ ආරච්චිලාගේ චලිතා මධුමාලි රූපසිංහ නම් වේ. ඇගේ ප්‍රකාශය 2019 මැයි 24 දින උදේ 09 ට කුරුණෑගල රෝහලේදී ප්‍රකාශ සටහන් කර ගත් බව ඉහත කී පොලිස් අධිකාරීවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇත. ඇගේ මුත්‍රා නාල දෙක කැපීම ගැන අගේ ප්‍රකාශයේ සඳහන් වන අතර මුත්‍රානාල කැපුණේ වෛද්‍ය සාෆි අතින් බව ඒ පැමිණිල්ලෙහි සඳහන්ව තිබී ඇත.

කෙසේ වෙතත් මේ පැමිණිල්ල ලියා ගත්තේ මැයි 24 වැනිදා උදේ බව කීවත්, ඒ පැමිණිල්ල සටහන් කරගත් අවස්ථාවේ පැමිණිල්ල සටහන් කරගත් වෙලාව පැමිණිල්ල සටහන් කරගත් නිලධාරීන් ඒ ප්‍රකාශයට සටහන් කර ගැනීමට පොලිසියෙන් පිටව ගිය වෙලාව හා නැවත පොලිසියට පැමිණි වෙලාව සටහන් කර නැත.

ඒ නිසා මෙය ඒ කියන වෙලාවේ ගත් ප්‍රකාශයක්ද? නැත්නම් වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගත් ප්‍රකාශයක්ද යන්න අපහැදිළි බව සීඅයිඩීය සිය වාර්තාවෙන් කියයි.

එහෙත් සීඅයිඩීය සිය වාර්තාවෙහි සඳහන් කරන්නේ මෙම සිදුවීම පිළිබඳව කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පත්තිනිසේකර මහතාගෙන්, මුත්‍රලිංග වෛද්‍ය ජයසුන්දරගෙන් සහ එම ශල්‍යකර්මයට සහභාගි වූ හෙදියන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවයි.

ඒවායින් සනාථ වී තිබුණේ ඉහත පැමිණිල්ල කළ කාන්තාවගේ සිසේරියන් සැත්කම් කළ අවස්ථාවේ මුත්‍රවාහිනී දෙක අතපසුවීමකින් ගැටගැසී ඇති බවත්, එයින් මුත්‍රවාහිනියේ අවහිරයක් ඇතිව තිබෙන බවත්ය. එහෙත් එය සාමාන්‍යයෙන් ඇතිවන තත්වයක් බව එම වෛද්‍ය නිලධාරීන් කියා ඇත.

සිසේරියන් සැත්කමකදී මුත්‍රනාලවල පිහිටීම නිසා රුධිරවාහිනීවලට තුවාල සිදුවීම සහ ඝර්භාෂය සමග එකතුවී මැහීම සිදුවිය හැකි බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පත්තිනිසේකර කියා ඇත. පසුව අදාළ කාන්තාවට සැත්කමක් සිදුකර මුත්‍ර මාර්ගය නිවැරදි කළ බවත්, රුධිර වහනය නැවැත්වීම සඳහා සැත්කමට සහභාගි වූ වෛද්‍යවරුන් ඝර්භාෂය ඉවත් කිරීමට තීර්ණය කළ බවත් එම වෛද්‍යවරයා කියා ඇත. ඒ ඝර්භාෂය ඉවත් කළ සැත්කමට වෛද්‍ය සාෆි සහභාගි වී නැත.

දෙවැනි ප්‍රකාශය නානායක්කාර ගාල්ලගේ තරිඳු දර්ශන:

දෙවැනි ප්‍රකාශය නානායක්කාර ගාල්ලගේ තරිඳු දර්ශන නම් පුද්ගලයාගේ මැයි 25 වැනිදා දවල් 1ට පරසන්ගස්වැව රෝහලේදී සටහන් කරගෙන ඇත. ඔහු කියා ඇත්තේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් අස්වාභාවික ලෙස කුඩා කැපුමක් යොදා ළමයින් එළියට ගත් බවයි. එහෙත් ඒ චෝදනාව වෙනත් කිසිදු නිලධාරියෙකුගේ ප්‍රකාශයකින් ‌හෝ සනාථ වී නැත.

මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ අදාල වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව සීඅයිඩීය විමර්ශනවලින් සොයාගත් බව ජූලි 04 වාර්තාවෙහි සඳහන්ය.

තුන්වැනි ප්‍රකාශය වෛද්‍ය ජයලත්ගේ:

තුන්වැනි ප්‍රකාශය වෛද්‍යවරයෙකු වන ජයලත්ගේ නාමල් බණ්ඩාර ජයලත්ගෙන් සටහන් කරගෙන තිබුණි. එය 2019 මැයි 24 දින සවස 04 ට නාවුල රෝහලේදී ප්‍රකාශ සටහන් කරගත් බව සඳහන්ය. වෛද්‍ය සාෆි දඹුල්ල රෝහලේ සේවය කරද්දී, එල්ආර්ටී හෙවත් කාන්තාවන්ගේ පැලෝපීය නාලය අවහිර කරන සැත්කම් සිදු නොකර ඒ සැත්කම් කළ බවට වෛද්‍ය වාර්තාවල සටහන් ඇතුළත් කිරීමට වෛද්‍ය සාෆි උපදෙස් දී ඇති බව එහි සදහන්ය.

සීඅයිඩීය කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ 24 වැනිදා නොව ඊ‌ට පසු දින එනම්, මැයි 25 දින සවස 04 ට නාවුල පොලිස් ස්ථානයේදී බවයි.

ඒ අනුව එම පැමිණිල්ලත් ලියාගෙන ඇත්තේ වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. එහෙත් එය සාෆිව අත්අඩංගුවට ගන්න්නට කලින් සටහන් කරගත් බවට බොරු කියා ඇත. එපමණක් නොව එම වෛද්‍යවරයගෙන් ලබා ගත් ප්‍රකාශවලදී නොකී අසත්‍ය කරුණු ඉහත කී පොලිස් අධිකාරීවරයා‌ගේ වාර්තාවෙහි තිබෙන බවද සීඅයිඩීය පෙන්වා ඇත. එමෙන්ම එම සිදුවීම දඹුල්ල රෝහලට අදාළ නිසා, එය කුරුණෑගල පොලිසියේ බලයලත් කලාපයෙන් පිටට යෑමක් බව කියා ඇත.

සිව්වැනි ප්‍රකාශය විශේෂඥ වෛද්‍ය ප්‍රියානි ගෙන් :

සිව්වැනි ප්‍රකාශය ප්‍රියානි ප්‍රියංගිකා නන්දසේන නම් විශේෂඥ වෛද්‍යවරියගෙන් 2018 මැයි 24 වැනිදා කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සවස 07 ට සටහන් කරගත් බව පොලිස් අධිකාරීවරයාගේ වාර්තාවෙහි ඇත. ඉහත කී වෛද්‍යවරයා කළ චෝදනාව එම ප්‍රකාශයේද සඳහන්ය.

එහෙත් සීඅයිඩී පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ සාෆිව අත්අඩංගුවට ගෙන දවස් දෙකකට පසුව බවයි. කුරුණෑගල පොලිසියේදී නොව 2019 මැයි 26 වැනිදා සවස වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ඇගේ නිවසේදී ඒ ප්‍රකාශය සටහන් කරගෙන තිබුණි. එම ප්‍රකාශයේද ව්‍යාජ දින යොදා ව්‍යාජ ස්ථාන යොදා පොලිස් සටහන් ව්‍යාජ ලෙස සකසා ඇතැයි සීඅයිඩීය අනාවරණය කරගෙන ඇත.

පස්වැනි ප්‍රකාශය හපුආරච්චිගේ ඉනෝකාගේ :

පස්වැනි ප්‍රකාශය හපුආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනීගෙන් 2019 මැයි 24 දහවල් 12ට කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සටහන් කරගත් බව පොලිස් වාර්තාවෙහි සඳහන්ය. ඇය කියා තිබෙන්නේ 2007 සිට තමන්ට දරුවෙකු නොමැති බවය. එහෙත් සීඅයිඩීය පසුව හෙළි කරගත්තේ ඇයගේ ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ මැයි 24 වැනිදා දහවලේ බවය.

හයවැනි ප්‍රකාශය චාන්දනී නයෝමිකා :

හයවැනි ප්‍රකාශය අබේවර්ධන මුදියන්සේලා‌ගේ චාන්දනී නයෝමිකා අබේවර්ධනගෙන් මැයි 24 වැනිදා දහවල් 12.30 ට ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසියේ වාර්තාවෙහි සඳහන්ය. 2011 වසරෙන් පසු දරුවන් නොලැබීම ගැන ඇය පැමිණිලි කර ඇත.

සීඅයිඩීය හෙළි කරගෙන ඇත්තේ එම පැමිණිල්ලත් මැයි 25 වැනිදා සටහන් කරගත් එකක් බවය.

හත්වැනි ප්‍රකාශය ජයලත්ගේ ප්‍රසන්තිකාගේ:

හත්වැනි ප්‍රකාශය ජයලත්ගේ ප්‍රසන්තිකාගේය. ඇගේ ප්‍රකාශයත් මැයි 24 වැනිදා සටහන් කරගත් බව සීඅයිඩීයට දැනුම් දී තිබුණු අතර ඇත්තටම ප්‍රකාශය සටහන් කරගෙන තිබුණේ මැයි 25 වැනිදාය. ඇගේ පැමිණිල්ලෙහි කියා තිබුණේද 2010 සිට තමන්ට දරුවන් නැති බවය.

අටවැනි ප්‍රකාශ ගංගානි දේවිකාගේ :

අටවැනි ප්‍රකාශ දුන් අතපත්තු මුදියන්සේලාගේ ගංගානි දේවිකා කියා තිබුණේ ඇයට 2009 සිට දරුවන් නැති බවය. ඒ ප්‍රකාශයත් 24 වැනිදා සටහන් කරගත් බව සීඅයිඩීයට බොරු කියා තිබුණි. පැමිණිල්ල මැයි 25 වැනිදා දහවල් 1.30 ට සටහන් කරගෙන තිබුණි.

නවවැනි ප්‍රකාශය චතුරිකා දීපානි බණ්ඩාරගේ

නවවැනි ප්‍රකාශය කන්දේගෙදර රාළලා‌ගේ චතුරිකා දීපානි බණ්ඩාර ලබාදුන් එකකි. තමන්ට එල්ආර්ටී සැත්කමක් සිදුකර ඇති බවත්, ඒ සැත්කමට තමන් එදින කැමැත්තක් දුන්නාද නැද්ද යන්න මතක නැති බවත් එහි සඳහන්ව තිබී ඇත.

ඒ පැමිණිල්ල මැයි 25 වැනිදා දහවල් 12.30 ට සටහන් කරගත් බව සීඅයිඩීයට කුරුණෑගල පොලිස් අධිකාරිවරයා එවූ වාර්තාවෙහි සඳහන් කර තිබී ඇත. එම කරුණ සීඅයිඩීයෙන් කළ පරීක්ෂාවෙන්ද තහවුරු වී ඇත.

කෙසේ වෙතත් ඒ සැත්කම ගැන සීඅයිඩීය වැඩිදුර කරුණු සොයාගෙන ඇත. එම සැත්කම මීට අවුරුදු 09 කට පෙර සිදු වූ එකකි. එම සැත්කම සම්බන්ධයෙන් කිත්සිරි විජේකුමාර නම් වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබා දී ඇත. ඔහු පවසා ඇත්තේ තමන් සහාය වෛද්‍යවරයෙකු ලෙස අදාළ ශල්‍යකර්මයට සහභාගි වූ බවත් ඇගේ ගර්භාෂය වටා විශාල ප්‍රමාණයේ ගෙඩි තුනක් තිබූ බවය.

එම නිසා ටී ආකාරයේ කැපුමක් සිදුකර දරුවා තට්ටමෙන් චලනය කර ඇති බවත්, එයට හේතුව දරුවාගේ හිස ප්‍රදේශය ගර්භාෂය යට කොටසේ සිරවී තිබුණු නිසා බවත් ඔහු කියා ඇත.

යළිත් දරු පිළිසිඳගැනීමක් සිදුවුවහොත් මවගේ ජීවිතයට අවධානමක් ඇති විය හැකි බැවින් එල්ආර්ටී සැත්කමක් සිදු කළ බවත් එම වෛද්‍යවරයා කියා තිබේ.

දහවැනි ප්‍රකාශය අනුරුද්ධ තිස්ස විජේසිරිගේ :

දහවැනි ප්‍රකාශය සෙනරත් පතිරණගේ අනුරුද්ධ තිස්ස විජේසිරි යන අයගෙන්ය. බිරිඳ ආහාර ගෙන පැය බාගයකින් පසු සිසේරියන් සැත්කම් සිදු කළ බව ඒ පැමිණිල්ලේ සඳහන් කර තිබී ඇත. ඒ පැමිණිල්ලත් මැයි 25 වැනිදා ලබාගත් එකක් බව සීඅයිඩීයට එවූ වාර්තාවේ සඳහන්ව තිබී ඇත. සීඅයිඩීයෙන්ද එම කරුණ තහවුරු කරගෙන තිබේ.

පැමිණිලි 10න් 09ක් ම අත්අඩංගුවට ගැනීමෙන් පසු !

සීඅයිඩීය අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා ඇත්තේ වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගැනීමට පෙර සටහන් කර ඇති බවට මූලිකව විශ්වාස කළ හැක්කේ එක් පැමිණිල්ලක් පමණක් බවයි. ඉතිරි පැමිණිලි නවයම සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු සටහන් කරගෙන ඇති බව ඔවුන් නිරීක්ෂණය කරයි.

ඒ අනුව වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ වැරදි සොයා ඇති බව පැහැදිළිය. වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගත්තේ කාගේ හෝ බලපෑමෙන් බවද පැහැදිළි කාරණයකි. කූඨ ලේඛණ සකස් කිරීම බරපතල වරදකි. සීඅයිඩීය පැහැදිළිවම සිය වාර්තාවෙන් කුරුණෑගල පොලිසිය කූඨ ලේඛණ සකස් කර ඇති බව පෙන්වා දෙයි.

චෝදනා එල්ල කර ඇත්තේ නිසි විමර්ශනයක් නැතිව

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෛද්‍ය සාෆිට බරපතල චෝදනා එල්ලකළත්, ඒ චෝදනා එල්ල කර ඇත්තේ නිසි විමර්ශනයක් නැතිව බව සීඅයිඩීය පැහැදිළිවම හෙළිදරව් කරගෙන තිබේ.

ඉන් පසුවද මේ මොහොත වනතෙක්ම වෛද්‍ය සාෆිට එල්ල කළ ඉහත පළවැනි චෝදනාව ඔප්පුකරන්නට තරම් සාක්ෂියක් හමුවී නැත. වෛද්‍ය සාෆිට තිබුණු රඳවා තබා ගැනීමේ නියෝගය ඉවත් කළේද ඒ අනුවය.

වෛද්‍යවරයාව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කරනු ඇතැයි අසාධාරණයට පත් වෛද්‍ය සාෆිගේ පවුලේ උදවිය බලාපොරොත්තු වුණේද ඒ අනුවය.

(අනිද්දා )