Tuesday, October 22, 2024
Follow Us
මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නැයි ඉල්ලා මුස්ලිම් කාන්තාවන් පෙරට !

මුස්ලිම් විවාහ නීතිය වහාම සංශෝධනය කළ යුතු බව මුස්ලිම් කාන්තා සංවිධාන අවධාරණය කරයි.

නීතීඥ එර්මිසා ටෙගාල් මහත්මිය සඳහන් කළේ අවම විවාහ වයස අවුරුදු 18ක් කළ යුතු බවත් එහි කිසිදු ව්‍යතිරේකයක් නොතිබිය යුතු බවත්ය.

එසේම මුස්ලිම් කාන්තාවන්ටත් මුස්ලිම් නීතියෙහි එන ක්වාසි තනතුරුවලට යාමට අවස්ථාව හිමිවිය යුතු බව පැවසූ ඇය සියල්ලන්ටම සාධාරණය එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් ප්‍රකාශ කළාය.

එමෙන්ම විවාහ සහතිකය සඳහා කාන්තාවගේ අත්සන ද අනිවාර්ය කළ යුතු බව පෙන්වා දුන් ඒ මහත්මිය විවාහය නීතිමය වශයෙන් ලියාපදිංචි කිරීමක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවයි සඳහන් කළේ.

මුස්ලිම් විවාහ නීතියේ ඇති දික්කසාද ක්‍රම ද පුරුෂයින්ට මෙන්ම කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමිවන අයුරින් සකස් විය යුතු බවත් නීතීඥවරිය පැවසුවාය.

ක්වාසි උසාවි ක්‍රමයම පවුල් උසාවි ක්‍රමයක් වශයෙන් සකස් විය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

මීට අමතරව බහු විවාහ සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන් අදහස් දෙකක් ප්‍රකාශ කරන බව සඳහන් කළ ඇය එක් අදහසක් නම් ශ්‍රී ලංකාව තුළ බහු විවාහය සම්පූර්ණයෙන් ඉවත් කිරීම බවත් අනෙක් අදහස වන්නේ මෙය අහෝසි කළ නොහැකි නම් බහු විවාහයට ඇතුළත් වීම සම්බන්ධයෙන් දැඩි කොන්දේසි පැනවීමක් සිදුකළ යුතු බවය සහ විශේෂයෙන් ඊට කාන්තාවගේ අවසරය අනිවාර්ය කළ යුතුය යන්නත් ඇය ප්‍රකාශ කළාය.

මෙහිදී හිටපු ඇමතිනී ෆේරියල් අශ්‍රොප් මහත්මිය පැවසුවේ තමන් ඉල්ලා සිටින්නේ ආගමික කරුණු පිළිබඳ සංශෝධනයක් නොව මිනිසුන් විසින් සකස් කළ නීති පිළිබඳ සංශෝධනයක් බවත් දෙවියන් වහන්සේ ලබාදුන් කරුණාව ද මිනිසුන් විසින් සකස් කළ නීති නිසා ඇහිරී ඇති බවත්ය.

මෙම සංශෝධන සම්මත කරගැනීම සඳහා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

මුස්ලිම් කාන්තා සංවිධාන නියෝජිතයින් මෙම අදහස් පළ කළේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)