Tuesday, October 22, 2024
Follow Us
විදේශ විනිමය පනත සංශෝධනය වන බව හිස්බුල්ලා කලින් දැනගෙන ඉඳලා ! කාරක සභාව හමුවේ අනාවරණය වෙයි !!

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට සහ බැටික්ලෝ කැම්පස් සඳහා 2017 වසරට පෙර ලැබුණු මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට මහ බැංකුවට බලයක් නොමැති බව අද (26) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය විය.

එහිදී සාක්ෂි දුන්, මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආර්.ආර්. ජයරත්න මහතා ප්‍රකාශ කළේ නව විදේශ විනිමය පනත යටතේ 2017 ට පෙර ලැබුණු මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය නොහැකි බවයි.

2017 වසරේ විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට පෙර බැටිකලෝ කැම්පස් සඳහා සියලු මුදල් ලැබී ඇති අතර පනත සංශෝධනය කිරීමෙන් පසු ඒ සඳහා කිසිදු මුදලක් ලැබී නොමැත. ඒ අනුව පැහැදිලි වන්නේ නව පනත සම්මත වීමෙන් පසු ඊට පෙර ලැබුණු මුදල් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා මහ බැංකුවට බලයක් නොමැති බව නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සහ අදාල මුදල් ලැබුණු හීරා පදනමේ ප්‍රධානීන් දැන සිටි බවයි.

මේ සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජික නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සෘජුව විමසූ අතර මහ බැංකුව වෙනුවෙන් පෙනී සිටි විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආර්.ආර්. ජයරත්න මහතා 'ඔව්' යනුවෙන් ඊට සෘජු පිළිතුරක් ලබා දුන්නේය.

තවදුරටත් සාක්ෂි ලබාදුන් ජයරත්න මහතා ප්‍රකාශ කළේ මෙය නව පනතේ දුර්වලතාවයක් බවත්, එය සංශෝධනය වියයුතු බව තම පෞද්ගලික හැඟීම බවත් සඳහන් කළේය.

(LNW)