Tuesday, October 22, 2024
Follow Us
වෛද්‍ය සාෆි අපරාධයක් කළ බවට කිසිදු සාක්ෂියක් නෑ - නීතිපති තහවුරු කරයි

සාෆි වෛද්‍යවරයා සිංහල මව්වරුන් දහස් ගණනකට වඳ සැත්කම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වුවද එවැනි අපරාධයක් සිදුකර ඇති බව මෙතෙක් කිසිදු සාක්ෂියකින් තහවුරු වී නොමැති බව නීතිපතිවරයා විසින් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ. ඒ අදාල වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ අධිකණය වෙත කරුණු දක්වමිනි.

වඳ සැත්කම් සිදුකළ බවට හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන කිසිදු අපරාධයක් සිදුකළ බවට හෝ තහවුරු වී නොමැති හෙයින් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ නොහැකි බවයි නීතිපතිවරයා අධිකරණය වෙත දන්වා තිබෙන්නේ. මෙකී වෛද්‍යවරයාට එල්ල වන මුල්‍ය චෝදනා සම්බන්ධයෙන් තීරණ ගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිදු කළයුතු බව ද නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා තිබේ.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. නීතිපතිවරයා විසින් ගෙනහැර දැක්වූ කරුණු අධිකරණය පිළිගන්නේද එසේ නැතහොත් ප්‍රතික්ෂේප කරන්නේද යන්න හා එසේ පිළිගනු ලබන්නේ නම් සාෆි වෛද්‍යවරයා වෙත ඇප නියම කරන්නේද යන්න සම්බන්ධයෙන් අද සවස මහේස්ත්‍රාත්වරයාගේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා මීට පෙර අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීම් තවදුරටත් තහවුරු වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණවලදී සාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් අතුරලියේ රතන හිමි ඇතුළු පාර්ශ්ව කිහිපයක් දිගින් දිගටම සඳහන් කළේ සාෆි වෛද්‍යවරයා අදාල වඳ සැත්කම් සිදුකර ඇති බවයි. එය විද්‍යාත්මක කරුණු ඔස්සේ තහවුරු කළ නොහැකි බවයි ඔවුන්ගේ තර්කය වන්නේ.

මේ අතර සාෆි වෛද්‍යවරයා වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම ලබන අගෝස්තු 06 වැනිදා විභාගයට ගැනීමට නියමිතය. නීතිපතිවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීම අධිකරණය පිළිගත හොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සාෆි වෛද්‍යවරයාට වාසි සහගත වනු ඇත.

 

(LNW)