Tuesday, October 22, 2024
Follow Us
නීතිපතිගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි

පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අගොස්තු මස 01 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (23) දින ලබා දුන්නා.

පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සඳහා නඩුව අද දින කැඳවනු ලැබුවත් පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද දින මහාධිකරණයේ පෙනී සිටි බැවින් ඔවුන් නොතීසි ලැබූ අය ලෙසට සලකන බව මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චී පවසා සිටියා.

මහේස්ත්‍රාත් අධිකරනයේ දී සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ජූලි මස 09 වැනිදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටි.

මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගයට විරෝධතා ඉදිරිපත් කරන බව පූජිත් ජයසුන්දරගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වු බෝම්බ ප්‍රහාරවලින් සිදු වූ ජීවිත සහ දේපළ හානි වළක්වා ගැනීමට කටයුතු නොකරමින් අපරික්ෂාකාරිව රාජකාරි යුතුකම් පැහැර හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ජූලි මස 9 වැනිදා නියෝග කළා.

(Neth)