Tuesday, October 22, 2024
Follow Us
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අධිකරණය හමුවට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ එම වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීම යන චෝදනාව මත ඔවුන් දෙදෙනාට නඩු පවරා තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොණු කර ඇත.

පසුගිය 02 වැනි දින ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන් දෙදෙනාට දණ්ඩ නීති සංග්‍රහය යටතේ 296 වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කර තිබුණි.

එහෙත් පසුගිය 09 වැනිදා පැවති නඩු වාරයේදී හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පූජිත් ජයසුන්දර මහතාට ඇප ලබාදීමේ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පෙන්වාදුන්නේ ඔවුන් දෙදෙනාට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කිරීමට තරම් සාක්ෂි නොමැති බවයි.

(LNW)