Tuesday, October 22, 2024
Follow Us
තැපැල් සේවකයින් අද අසනීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට

රට පුරා තැපැල් සේවා මේ වනවිට බිඳ වැටී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. 24,000ක් වන තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති අරගලයක යෙදී සිටීම නිසා තැපැල් සේවා මෙලෙස බිඳ වැටී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් පැවසුවේ වසරකටත් වැඩි කාලයක් තිස්සේ ඉටු නොවු ඉල්ලීම් දිනා ගැනීම සඳහා මෙම වෘත්තීය සමිති අරගලය සිදු කරන බවයි.

වෘත්තීය සමිති අරගලයකට යොමු නොවී ගැටළු සාකච්ඡා මගින් විසඳා ගන්නැයි තැපැල් සේවා අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් ඉකුත් දින 02 දී අවස්ථා කිහිපයකම තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා.

තැපැල් සේවකයන් අද (22) වෘත්තීය සමිති අරගලයේ යෙදී සිටින්නේ එම ඉල්ලීම ද නොසලකා හරිමින්. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ද තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයෙන් විමසා සිටියා.

එහිදී සඳහන් කෙරුණේ මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ ආකාරයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදී ඒවා නතර කරන්නැයි සඳහන් කරමින් සාකච්ඡා කළ බවත් ඒ හරහා මෙතෙක් විසඳුමක් නොලැබුණු බවයි. ඒ හේතුවෙන් මෙවර වෘත්තීය ක්‍රියාමාර්ග මග නතර නොකරන බවද සඳහන් කළා.

අද සිදු කෙරෙන වෘත්තීය සමිති අරගලයට ද සාධනීය ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද අදහස් කරන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)