Tuesday, October 22, 2024
Follow Us
රටට ඕනේ ’’අලුත්ම අලුත්’’ ජනපති කෙනෙක්! සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි!

මෑතකදී තරුණ සංවිධානයක් පාර්ලිමේන්තු සාමාජික කණ්ඩායමක් හා එක්ව දීප-ව්‍යාප්තව දියත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇත්තේ, ශ්‍රී ලාංකීය ජනතාවගෙන් 28% ක ප්‍රතිශතයක් ම වර්තමාන දේශපාලන නායකයන් 2020 ජනාධිපතිවරණය සඳහා පෙනී සිටිනු දැකීමට කැමත්තක් නැති බවත්, ඔවුන් බලාපොරොත්තු වන්නේ තුන්වන දේශපාලන බලවේගයකින් ඉදිරිපත් වන "නවතම මුහුණුක්" බවත් ය.

34% ක ප්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂය/එක්සත් ජාතික පෙරමුණ (UNP/UNF) හා එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) එක්ව ඉදිරිපත් කරනු ලබන පොදු අපේක්ෂකයකු හට කැමැත්ත පළ කරන බවද එම සමීක්ෂණ වාර්තාව හෙළි කර ඇත.

ශ්‍රී ලංකා යොවුන් පෙරමුණ හා හිටපු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවාද මණ්ඩපය සිදු කළ මෙම සමීක්ෂණයෙන් හෙළිවූ තවත් කරුණක් වන්නේ, රටේ ජනතාව ගෙන් 28.33% ම වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද එකහෙළා ප්‍රතික්ෂේප කරනා බවයි.

"සම්පූර්ණ වශයෙන්ම විකල්ප දේශපාලන දැක්මක්" අවශ්‍ය බව පෙන්වා දෙන ඔවුන් වර්තමාන දේශපාලන සංස්කෘතිය හා දේශපාලන පක්ෂ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යලි බලයට පත්විය යුතුය යන මතය "තනි පුද්ගලයකු පාදක කොටගත් පැහැදිලි 22% ක ජනතා ප්‍රතිචාරයක්" ලෙස සමීක්ෂණය තුළ වාර්තා වී ඇත.

ඒ අන්දමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණට හිමිව ඇත්තේ 14.15% ක ජනතා ප්‍රතිචාරයක් පමණි.

කෙසේවෙතත්, සුළුතර දේශපාලන පක්ෂ නියෝජිතයන් (දෙමළ හා මුස්ලිම් ඇතුළුව) හට තම ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන්නන්ගේ සීඝ්‍ර වර්ධනයක් ද මෙම වාර්තාව පෙන්නුම් කරනු ලබයි. මෙම ප්‍රතිශතය 15% වන අතර, එය එක්සත් ජාතික පෙරමුණට සහයෝගය පළ කිරීමට කැමති ප්‍රතිශතයද අභිබවා ගොස් ඇති බව ඉන් පෙනී යයි.

සමීක්ෂණය තුළ වඩාත් තහවුරු හා පැහැදිලි වූ කරුණක් වන්නේ තනි පුද්ගලයකු පාදක කොටගත් පැහැදිලි 22% ක ජනතා ප්‍රතිචාරයක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා ඇති ජනතා ප්‍රතිචාරයද අභිබවා යමින් එක්සත් ජාතික පක්ෂය/එක්සත් ජාතික පෙරමුණ (UNP/UNF) හා එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) එක්ව ඉදිරිපත් කරනු ලබන පොදු අපේක්ෂකයකු හට 34% ක ජනතා ප්‍රතිචාරයක් ඉදිරිපත් ව තිබීමයි.

කෙසේවෙතත්, මෙම නව පොදු අපේක්ෂක දේශපාලන පක්ෂ නියෝජනය නොකරන, නව පෞරෂත්වයකින් හෙබි, හා පැරණි දේශපාලන සබඳතා වලින් තොර පුද්ගලයකු විය යුතු බව ද එම වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම අතිඋතුම් කාඩිනල් මැල්කොම් රංජිත් හිමිපානන් ද මෙම පොදු අපේක්ෂකත්වයට "ඉතා සුදුසු පුද්ගලයකු" බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අභිබවා යමින් 2.5% ජනතා ප්‍රතිචාරයක් හිමිකරගෙන තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගෙන ඇති ජනතා ප්‍රතිචාරය 2.3% පමණි.

සමීක්ෂණ වාර්තාවට අනුව, 9% ක ප්‍රතිශතයක් 2020 ජනාධිපතිවරණයේදී තමා කිසිදු අපේක්ෂකයකු හට සහයෝගය පළ නොකරන බවත්, තම ඡන්ද පත්‍රිකාව අහෝසි/විනාශ කර දමන බවටත් පවසා ඇත.

4% ක ප්‍රතිශතයක් කිසිදු දේශපාලන මතයක් නොදරණ හා සහයෝගය ලබා නොදෙන බවට ප්‍රකාශ කර ඇත.

තවත් 2.68% ක ප්‍රතිශතයක් කිසිදු දේශපාලන පාර්ශවයක් නොගෙන මධ්‍යස්ත මතධාරීන් පිරිසක් ලෙස පෙනි සිටියි.

(Asian Tribune)