Tuesday, October 22, 2024
Follow Us
මහ වැස්සෙන් 7ක් මරුට – 1976ක් ආපදාවට ලක්වෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගිනිගත්හේන මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් වෙළඳසැල් 10ක්ද සමඟ අද (19) අලුයම නාය යාම හේතුවෙන් ඊට හසුවූ එම වෙළඳසැලක සිටි ව්‍යාපාරිකයෙක් මියගොස් ඇත.

සූරියවැව ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයක් මතට අද (19) පස්වරුවේ ගසක් කඩාවැටීම හේතුවෙන් 31 හැවිදිරි කාන්තාවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක මිය ගොස් තිබිණි.

හැටන්, ආගරපතන ටොරින්ටන් තේ වත්ත ප‍්‍රදේශයේ දිය පහරකට හසුව ගසාගෙන යෑමෙන් ඊයේ (18) දිනයේදී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මීට අමතරව මහනුවර මහියංගණය මාර්ගයේ ඔරුතොට ප‍්‍රදේශයේදී යතුරු පැදියක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් 29 හැවිරිදි තරුණයෙක්ද මරණයට පත්ව තිබේ.

කළුගගේ ජල මට්ටම ඉහළ ගොස් රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඇතිවූ ජල ගැලීම් නිසා අද (19) දහවල් වන විට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක පවුල් 331කට අයත් 1250ක් පමණ ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේද මහ වැසි සමඟ ඇතිවූ ජලගැලීම්, තද සුළං, පස්කඳු කඩාවැටීම් හා නායයෑමේ අවදානම් හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 165කට අයත් 726 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

(Lanka Leads)