Tuesday, October 22, 2024
Follow Us
ගිනිගත්හේන නගරයේ වෙළෙඳ සැල් 10ක් නායේ යයි - පුද්ගලයෙක් අතුරුදහන්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය.

අද(19) අළුයම 2.00ට පමණ මෙම නාය යාම සිදු වී තිබේ.

දෙමහල් ගොඩනැඟිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක්, අවහන්හල් දෙකක්, සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබු බව පොලිසිය සඳහන් කළේය.

අතුරුදහන් වී ඇත්තේ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා බව සඳහන්.

අතුරුදහන් තැනැත්තා සොයා යුධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් එලෙස නාය ගොස් ඇත.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින හෙයින් පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නායයාමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය හදුනාගෙන පැවති අතර එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි දැනුම් දී ඇති බවද සඳහන්.

(LNW)