Monday, October 21, 2024
Follow Us
වෛද්‍ය සහ තැපැල් වර්ජනයකට සැරසේ

වෛද්‍යවරුන් සහ තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. දිවයින පුරා රෝහල්වලට සිදු කරන වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් මතුවූ අර්බුධයක් වෛද්‍යවරුන්ගේ වර්ජනයට හේතුවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ අවශ්‍යතාව මත හෝ එක් නිලධාරියෙකුගේ අවශ්‍යතාව මත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව ලබාදීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙන බවයි. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්පූර්ණ විරෝධතාවය ප්‍රකාශ කරන බවද සඳහන් කළා.

අදාළ ගැටලූව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද දැනුවත් කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඒ සම්බන්ධයෙන් තීරණයක් නොගතහොත්, ඕනෑම අවස්ථාවක හදිසි වෛද්‍ය වර්ජනයක් සිදු කිරීමට අදාළව අද (15) දිනයේ රැස්වී සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේ අතර තැපැල් සේවකයින් සිය වර්ජනය අද (15) පස්වරු 04.00 සිට ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. ප‍්‍රධාන ඉල්ලීම් 03ක් ඊට හේතු වී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ තැපැල් සේවකයින්ට වසර 13ක් සිට උසස්වීම්, වැටුප් තල සහ බඳවා ගැනීම් සියල්ල අහිමි කරමින් කටයුතු කරමින් සිටින තැපැල් පරිපාලනයට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ ලබන 18 වැනිදා පස්වරු 04.00 දක්වා කාලයක් මෙම සංකේත වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.

(Neth)