Monday, October 21, 2024
Follow Us
අවි ජාවාරමෙන් බේරෙන්න ෆයිසර් මුස්තාෆා මගෙ අත් දෙක අල්ලලා වැන්දා - නිශ්ශංක

සමුද්‍ර ආරක්ෂණ කටයුතුවල නියැළුණු ෆයිසර් මුස්තාෆා හිටපු අමාත්‍යවරයාට අයත් සමාගමක් නීතිවිරෝධීව අවි ප්‍රවාහනය කර හසුවූ පසු එය බේරාදෙන මෙන් ඉල්ලා ඔහු තම දෑත් අල්ලා වැඳ වැටුණු බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

රක්නා ලංකා සමාගමේ සමුද්‍ර ආරක්ෂණ කටයුතුවලට තමන් මැදිහත් වීමට පෙර එහි සේවා සැපයූ සමාගම් 24ක් විසින් නීතිවිරෝධී ලෙස අවි ජාවාරම් කර ඇති බවට ඊයේ (13) චෝදනා කළ ඒ මහතා හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මෙම ජාවාරම්කරුවන් අතර සිටින බව සඳහන් කළේය.

මීට ප්‍රතිචාර දක්වමින් ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කර තිබුණේ එය සම්පූර්ණ අසත්‍යයක් බවත් තමන් කිසිදු අවි ගනුදෙනුවකට සම්බන්ධ වී නොමැති බවත්ය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

"පල්සර් ශිපිං කියලා සමාගමක් තියෙනවා. ඒකෙ මව් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් තමයි මේ ෆයිසර් මුස්තාෆා කියන මහත්තයා. ඔය පල්සර් ශිපිං සමාගම ශ්‍රී ලංකා රජයට හොරෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශෙට අයිති අවි ආයුධ හොර ලිපියකින් අත්සන් කරලා, අපි කිසිකෙනෙක්ගේ දැනුමක් නැතිව රතු මුහුදේදී නැවකට නග්ගලා, එම අවි ආයුධ මුහුද හරහා ගිහින් ඉරාන මුහුදෙදී 7වෙනි ඇමරිකානු බල හමුදාවට අහුවෙලා ඒගොල්ලො මහ රෑ අපට කෝල් කරලා, මේ ලයිසන් නැතිව වෙපන් යනවා හොරට කියලා දැනුම් දීලා අපි ඒගොල්ලොන්ගෙන් සමාව ඉල්ලලා, පාන්දර තුන හමාරට බෝට්ටුවක් හයර් කරන් ඩොලර් පනස් දාහක් දීලා ඇරලා, ඒ බෝට්ටුවෙ තිබුණු හොර අවි ආයුධ ටික ගොඩට ගෙනල්ලා, ඒ සමාගම තහනම් කරන්න ගියා පල්සර් ශිපිං කියන එක.

ඒ පල්සර් ශිපිං කියන එකේ මව් සමාගම අයිති තවත් මුස්ලිම් ජාතිකයෙකුට. මං මේ ගැන පැමිණිල්ලක් දාපුවාම මේ කියන පුද්ගලයා මගෙ කාර්යාලයට ඇවිල්ලා සමාව ඉල්ලුවා. මේ ඇමතිවරයා. මං කිව්වා ඇමතිවරයාට ලැජ්ජා නැද්ද කාර්යාලයට එන්න ? මං දාලා තියෙනවා මේ ගැන පැමිණිල්ලක්. කාර්යාලයට එන්න එපා කියලා. කවුද මේ ? ෆයිසර් මුස්තාෆා. ඊට පස්සෙ මං කිව්වා ඇවිල්ලා මාව එළියෙදි හම්බවෙන්න මං ඔයාට කියලා දෙන්නම් කියලා. මං කිව්ව මේ සමාගම වහන්න, මේ පළවෙනි වතාව නෙවෙයි ඕගොල්ලො හොරට වෙපන් විකුණපු කියලා.

මගෙ අත් දෙක අල්ලලා වැන්දා මෙයා. තවත් කට්ටිය එතන හිටියා, මං ගෙන්නන්නම් සාක්ෂියට. මගෙ කාර්යාලෙ කට්ටියත් ඉන්නවා. පළවෙනියෙන්ම ලංකාවෙ අවි ආයුධ හොරට ත්‍රස්තවාදීන්ට විකුණන්න අපි නොදැනුවත්වම උදව් කරපු එක්කෙනෙක් තමයි ඔය ෆයිසර් මුස්තාෆා කියන ඇමතිවරයා. ෆයිල් එකක් පිටින් විස්තර මගෙ ගාව තියෙනවා මං පෙන්නම්"

නිශ්ශංක සේනාධිපති මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ සිට නෙත් එෆ් නාලිකාවට ප්‍රකාශයක් ලබා දෙමිනි.

(LNW)