Monday, October 21, 2024
Follow Us
හේමසිරි ප්‍රනාන්දු රෝහලෙන් පිටව යයි

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (13) පෙරවරුවේ රෝහලෙන් පිටව ගියේය.

සති තුනක පමණ කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබූ අතර ඔහුට හෘද රෝගී අංශයේ දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය.

පසුගිය 09 වැනිදා නඩුව කැඳවු අවස්ථාවේදී වුවද ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමට නොහැකි වී තිබුණේ අධි රුධිර පීඩනය ඉහළ ගොස් තිබූ හෙයින් බව සඳහන්.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තවදුරටත් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පසුගිය 02 වැනි දින ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාව වන විටත් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.

එදින පස්වරුවේ හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනුණි.

පසුගිය 09 වැනිදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔවුන් දෙදෙනාට ඇප ලබාදුන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනීමැරුම් චෝදනා එල්ලකරමින් නඩුව ගොණු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ අඩුපාඩු රැසක් පෙන්වාදෙමිනි.

කෙසේවෙතත් එම නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් බව නීති ප්‍රාමාණිකයන්ගේ අදහසයි.

(LNW)