Monday, October 21, 2024
Follow Us
හේමසිරි සහ පූජිත් ගැන අගවිනිසුරු ගත්ත තීරණය මෙන්න !

පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (12) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සේ සලකමින් එම පෙත්සම් සලකා බැලීමට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මීට පෙර තීරණය කර තිබිණි.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇති විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු ය.

අවසන් වරට ශ්‍රේෂ්ඨාධිකරණ මෙලෙස සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් කැඳවනු ලැබුවේ ඉකුත් වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහාය.

එම ප‍්‍රහාරයේ සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා, නාගානන්ද කොඩිතුවක්කු, ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද, පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි, ෂැන්ග‍්‍රිලා බෝම්බයට හසුව තුවාල ලැබූ නීතීඥ මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක ඇතුළු පිරිසක් ගොනු කළ සියලු පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබිණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටිති.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නීති සංග‍්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

වග උත්තරකාරුවන්ගේ ක‍්‍රියාකලාපය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක‍්‍රියාකලාපය හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

(News Tube)