Monday, October 21, 2024
Follow Us
වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණ කළොත් සාෆි නිදහස් වෙනවා. එහෙම බෑ - රතන හිමි

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව පැමිණිලි කර ඇති මවුවරුන් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් කළහොත් වෛද්‍යවරයා නිවැරදි බව ඔප්පු වී ඔහු නිදහස් වනු ඇති බවත් එසේ කිරීමට ඉඩදිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුව මෙසේ විද්‍යාත්මකව පැලෝපීය නාල පරීක්ෂා කිරීමට යන්නේ වෛද්‍ය සාෆි නිදහස් කිරීමේ අරමුණින් යුතුව බවටයි එහිමි චෝදනා කළේ.

එහෙයින් විද්‍යාත්මක පරීක්ෂණ වෙනුවට වෛද්‍යවරයා සිංහල මවුවරුන්ගේ සැත්කම් සඳහා ගන්නා වෙලාවට වැඩියෙන් මුස්ලිම් මවුවරුන්ගේ සැත්කම් සඳහා කාලය වැයකිරීම, සිංහල මවුවරුන්ට එක මැහුමක් දමා මුස්ලිම් මවුවරුන්ට මැහුම් දෙකක් දැමීම වැනි චෝදනා කෙරෙහි අවධානය යොමු කර ඒ හරහා ඔහු වැරදිකරුවකු කිරීමට කටයුතු කළ යුතු බවත් රතන හිමි සඳහන් කළේය.

එසේම තමන් මාරාන්තික උපවාසයක් කළේ සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් ඉල්ලමින් බව පැවසූ එහිමි එවන් කොමිසමක් මෙතෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද චෝදනා කළේය.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (11) සාෆි වෛද්‍යවරයා සම්බන්ධ නඩුව කැඳවුණු කුරුණෑගල අධිකරණය ඉදිරියේ සිට මාධ්‍ය අමතමිනි.

(LNW)