Wednesday, January 15, 2025
Follow Us
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ කමිටුව රැස්වෙයි

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති තත්ව ආරක්ෂණය හා ප්‍රතීතනය සම්බන්ධ ස්ථාවර කමිටුව අද දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධාන මාර්ගෝපදේශකත්වය යටතේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනික පාඨමාලාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙන් ම එම අධ්‍යාපන ආයතන ද ර‍ජයේ අනෙකුත් අධ්‍යාපන ආයතන මට්ටමට සාධනීය අයුරින් ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අදාළ ව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අගමැතිවරිය එහි දී කමිටු සාමාජිකයන්ට පැවසී ය.
නව සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරු ව ප්‍රථම වරට රැස් වූ එම කමිටුවේ සභාපති වශයෙන් සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සහභාගි වී සිටියේ ය.