ලෝක ආගමික උත්සව අතුරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ‘කුම්භමේලා‘ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්රයාග්රාජ් නුවරදී ඊයේ ඇරඹුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන පෙබරවාරි මස 26 වැනිදා දක්වා දින 44ක් පුරා මෙවරඋත්සවය වසර 144කට වතාවක් පැවැත්වෙන ‘මහා කුම්භමේලා‘ උත්සවය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
සිය ජීවිත කාලය තුළදී ‘මහාකුම්භමේලා උත්සවයට සහභාගි වීමේ විරල අවස්ථාවක් ලෝක වාසී හින්දු බැතිමතුන්ට ලැබී ඇති බැවින් මෙවර ‘මහා කුම්භමේලා‘ උත්සවයට කෝටි 40කට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මීට පෙර අවසන් වරට ‘මහා කුම්භමේලා‘උත්සවය පවත්වා ඇත්තේ 1881දී බවත්, මීළඟඋත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2169 දී බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඒ අතරතුර වසර 3කට වරක් කුම්භ උත්සවය ද, වසර 6කට වරක් අර්ද් කුම්භ උත්සවය ද පැවැත්වෙන අතර, වසර 12කට වරක් පූර්ණ කුම්භ උත්සවය පැවැත්වෙන බව එරට මාධ්‍ය සඳහන් කළේය. ඊයේ ආරම්භ වූ එවැනි පූර්ණ කුම්භ උත්සව 12කට පසුව එළැඹෙන මහා කුම්භමේලා උත්සවයට අමෙරිකාව, රුසියාව, ප්‍රංශය, ඊශ්‍රායලය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවකින් ලක්ෂ 15ක විදේශිකයන් ද පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මාසයකට අධික මේ කාලසීමාව තුළ හින්දු බැතිමතුන් එරට පූජනීය ගංගා ලෙස සැලකෙන ගංගා, යමුනා සහ සරස්වතී නදියේ ස්නානය කිරීම ආගමික උත්සවයේ ප්‍රධානතම අංගය වන අතර, එමඟින් බැතිමතුන්ගේ යළි ඉපැදීමේ ජීවන චක්‍රයෙන් අත්මිදිය හැකි බවට විශ්වාසයක් පවතින බවත් වාර්තා වේ.
මහා කුම්භමේලා උත්සවයට සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතය ද ඇතුළත්ව අතිවිශාල ආරක්ෂක හමුදාවක් සහ ගිනි නිවන හමුදාව ඇතුළු හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ද ඉදිකර ඇති අතර, වෛද්‍යවරු 407 දෙනකු ඇතුළු 700කට අධික කාර්ය මණ්ඩලයක්, කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන වෛද්‍ය සේවයක් සහ ඇඳන් 100කින් සමන්විත තාවකාලික රෝහලක් ද ඉදි කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව බැතිමතුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් බස් රථවලට අමතරව කෙටිදුර ගමන් සේවා දුම්රිය 1869ක් ද, දුර ගමන් සේවා දුම්රිය 706ක් ද ක්‍රියාත්මක කිරීමට එරට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද පිළිගෙන ඇති මහා කුම්භමේලා උත්සවය ආගමික සිදුවීමක් පමණක් නොව ඉන්දියාවේ විවිධ සංස්කෘතික සම්ප්රදායයන් සැමරීමක් ද වන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
Dinamina