Saturday, October 19, 2024
Follow Us
මෛත්‍රී ඉල්ලා අස් වෙයි – ශ්‍රීලනිප නව සභාපති විජයදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඊයේ (12) ඉල්ලා අස්වී ඇති අතර එම ඉල්ලා අස්වීමෙන් පසුව නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කරගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් ඊයේ (12) විධායක සභා රැස්වීම කොළඹ පිහිටි හෝටලයකදී පැවැත් වූ අතර එහිදී මෙම පත් කිරීම සිදු කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස කැස්බෑව ආසන සංවිධායක, නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතාට එරෙහිව වාරණ නියෝගයක් ලබාදී තිබූ අතර එබැවින් මෙලෙස කීර්ති උඩවත්ත මහතා පත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ පාර්ශ්වයට ‍‍මෙම විධායක සභා රැස්වීම කැඳවීමට කිසිදු බලයක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ශ්වය නියෝජනය කරන නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කරන සරත් ඒකනායක මහතාට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පෙන්වා දී ඇත්තේ එවැනි රැස්වීම් පැවැත්වීම අධිකරණ වාරණ නියෝග කඩකිරීමක් බවයි.

Dinamina