Thursday, January 09, 2025
Follow Us
'Clean Sri Lanka'  සක්‍රීය දායකත්වයට ආරක්‍ෂක අමාත්‍යාංශය සූදානම්
  • ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ‍යේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්

රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ ජනවාරි 07 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මින් පෙර පවත්වන ලද හඳුන්වාදීමේ සාකච්ඡාවකින් පසු පවත්වන ලද මෙම සාකච්ඡාවේදී ආයතන ප්‍රධානීන් තවදුරටත් දැනුවත් කිරීම සහ මෙම වැඩසටහන සමාජයට ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රියාමාර්ග හා  ක්‍රමෝපායන් සබැඳිව අවධානය යොමු කරන ලදී.

සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනය තුළින් සමාජය උසස් තලයකට ගෙන ඒම අරමුණු කරගත් මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර මහතා අගනා දායකත්වයක් ලබා දුන්නේය.

සමෘද්ධිමත් ජාතියක් නිර්මාණය කිරීම සහ සෑම පුද්ගලයෙකුටම ලස්සන ජීවිතයක් සහතික කිරීම සඳහා ක්‍රියා කරන අතරම සියලු අංශ අතර, වගකීම සහ වගවීම මෙම වැඩසටහන ඔස්සේ අවධාරණය කරයි.

මෙහිදී සමාජීය වශයෙන් මෙම සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කරන්නේ කෙසේද යන්න මෙන්ම, මෙම වැඩසටහනෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීම සහ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බැවින්, අපේක්‍ෂිත ප්‍රතිඵල වඩාත් හොඳින් ලබාගත හැකි ආකාරය පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  එක්ව ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.