Monday, October 21, 2024
Follow Us
අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක්

අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් පිරිසක් ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් ගොඩනැගෙමින් සිටින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින් අමතමිනි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පැරණි පාර්ලිමේන්තුව වන වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී  ඊයේ  (30) පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය සමඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ   මහලේකම් කුෂාණි රෝහණධීර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙහිදී  ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් වෙත සිය සුබපැතුම් පිරිනැමූ ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව ද සිසු දරුවන් දැනුවත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙසේද පැවසීය,

පැරණි පාර්ලිමේන්තුව තුළ ඔබේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීමට අවස්ථාව ලබා දීමට හැකි වීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. මේ වන විට පාසැල් විශාල සංඛ්‍යාවකට ඒ අවස්ථාව හිමි වී තිබෙනවා. අද මෙහි අගමැතිධුරය හොබවන දරුවා  අසුන් ගෙන සිටින පුටුවේ තමයි එකල ඩී. එස් සේනානායක අග්‍රාමාත්‍යවරයා අසුන් ගෙන සිටියේ. පැරණි ඡායාරූපවලින් මේ පාර්ලිමේන්තුවේ ඓතිහාසික වටිනාකම තව දුරටත් ඔබට වටහා ගත හැකි ‍වනු ඇතියි. 1982 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත පාර්ලිමේන්තුව ගෙන යන තුරු ඔබ මේ සිටින ස්ථානයේ තමයි පාර්ලිමේන්තුව රැස් වුණේ. ගාල්ලේ මන්ත්‍රීවරයකු වූ විජයානන්ද දහනායක මහතාගේ වාර්තාගත දවස් එකහමාරක හෝ දෙකක අඛණ්ඩ  කතාව පැවැත්වීම සිදු වූයේද මෙම ස්ථානයේදීයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ සංවර්ධනයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන්ද ඉතා ඉහළ මට්ටමක පවතින දිස්ත්‍රික්කයක් බව කිව යුතුයි. එම දිස්ත්‍රික්කයේ අනාගතය මෙහෙය වන්නට, ඒ සඳහා නායකත්වය දීමට, ඒ වෙනුවෙන් මැති ඇමතිවරුන් වන්නට පිරිසක් සූදානම් වන බව ඔබ තුළින් මම දකිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය ගෙන අනාගතයේදී රට මෙහෙයවන්නට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ ප්‍රධාන ආරාධිත දේශනය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ   මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය   ප්‍රකාශ කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අනාගතයේ දක්ෂ නායකයන් බිහි කිරීම සඳහා මහත් පිටිවහලක් වනු ඇති බවයි.

මෙම ඓතිහාසික ස්ථානයේ මංගල සභාවාරය පැවැත්වීමට ලැබීම කුරුණෑගල මලියදේව විද්‍යාලය ලැබූ වටිනා අවස්ථාවක් බව පෙන්වා දෙමින්, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික වටිනාකම මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාල‍නයේ විකාශය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා සිසුන් දැනුවත් කළේය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. සී. කේ මහමිතව මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම විවාදය පැවැත්වීමට අවස්ථාව හිමි වීම තම පාසලේ දරුවන්ට හිමි වූ වටිනා අවස්ථාවයක් බවයි.

මෙමඟින් ලබන දැනුම හා අත්දැකීම් තුළින්  කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අනාගතයේ දී මේ රටේ දක්ෂ නායකයින් වීමට අවස්ථාව සැළසෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද මෙම අවස්ථාවට එක් වෙමින්  ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හා පාර්ලිමේන්තුව පිළිබඳව ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින් ඉදිරිපත් කළ  ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබීය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයන්ට පත්වීම් ලිපි සහ සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිතයින් වෙත කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් සමරු ඵලක ප්‍රදානය කිරීමද සිදු කෙරිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, මහජන සේවා කළමණාකාර බුද්ධීනී රාමනායක, සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතා නිලධාරී දුමින්ද වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්ම මහත්මීන් සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.