Monday, October 21, 2024
Follow Us
සනත්ගේ මන්ත්‍රී පුටුවට ජගත් ප්‍රියංකර

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ.

2020 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන 5ක් හිමි කරගත් අතර, එහිදී මනාප 40,527ක් ලබා ගනිමින් 6 වැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතාට හිමි විය.

1979 දෙසැම්බර් 09 වැනිදා උපත ලද දික්වෙල ප්‍රාථමික විදුහලෙන් සිප්සතර ඇරඹූ ඔහු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්ව වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලයට ඇතුළත් විය. කලා අංශයෙන් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි. තිදරු පියකු වන ඔහු වෘත්තියෙන් සමෘද්ධි කළමනාකරුවකු ලෙස සේවය කරන අතර, පාසලේදී සරසවියේදී මෙන්ම දිස්ත්‍රික්කය තුළ ද දක්ෂ කතිකයකු හා ලේඛකයකු ලෙස ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත. ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර, ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කර තිබේ.