Monday, October 21, 2024
Follow Us
වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකියි – ඇමති පවිත්‍රා

දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකි බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

බහු කාර්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට බඳවා ගත්, බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිනි.

පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උක්ත ප්‍රකාශය සිදුකළ අතර, ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ට සමස්ත ජනතාව වෙනුවෙන් අත්හල නොහැකි වගකීම් රාශියක් පැවැරී ඇති බවත්, රාජ්‍ය සේවකයෙකු ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් සිට ජනතාවට සේවය නොකර සිටිය නොහැකි බවත්, අප උපන් මාතෘභූමියට උපරිම සාධාරණය ඉටුකිරීම රාජ්‍ය සේවයට එක්වන සැමගේ වගකීම බවත් අමාත්‍යවරිය විසින් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා ය.

පත්වීම්ලාභීන් “රියදුරු, කෘෂි සහයක, ජලනල කාර්මික හා විදුලි කාර්මික” යන විෂය ක්ෂේත්‍ර යටතේ ජාතික වෘත්තීය කුසලතා (N.V.Q.03) වන මට්ටමේ සුදුසුකම් ලාභීන් වන අතර,මහවැලි කලාප කාර්යාල තුළ පවතින පුරප්පාඩු සඳහා මොවුන් යෙදවීමට අපේක්ෂා කෙරේ.

මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා මුදල්) කෞෂල්‍ය විජයවීර මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ සේවා) ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.