Monday, October 21, 2024
Follow Us
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය අපට මඩ ගැසීමට වියදම් කරනවා

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය අපට මඩ ගැසීමට වියදම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. කොළඹ දකුණ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා  පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවති විශේෂ වැඩමුළුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මෙම අමාත්‍යාංශය වගකීම බාර ගැනීමෙන් අනතුරුව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධව  සම්බන්ධව සුවිශාල වගකීමක් අප වෙත පැවරුණා. පැවති වාතාවරණය අනුව ඉතාමත් දැඩි තීරණ වලට එළඹෙමින් එම අවස්ථාවේ කටයුතු නොකළා නම් මේ වන විටත් රටේ ජනතාවට ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්වල සිටීමට සිදුවීමට ඉඩ තිබුණා. එම ක්‍රියාමාර්ගවලින් අනතුරුව ආර්ථිකය කෙමෙන් කෙමෙන් යහපත් තත්ත්වයට පත්වුණා, රට යථා තත්ත්වයට පත්වුණා. මසකට දින කිහිපයක් පමණක් විවෘත කාර්යාල නැවත සාමාන්‍ය පරිදි කටයුතු කිරීම ආරම්භ වුණා.

 ඉන් අනතුරුව අප හමුවේ පැවති දැවැන්තම අභියෝගය වූයේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමයි. ඒ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සමාජිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඒ පිළිබඳ විශේෂ අධ්‍යයනයක නිරත වුණා. ඒ අනුව එවකට පැවති ප්‍රජා පොලිස් කමිටු වෙනසකට ලක් කර වඩාත් ඵලදායි ලෙස ක්‍රියාකාරී කිරීමේ සැලසුමක් අප සකස් කළා.

 ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළේ මසක් අවසානයේ ප්‍රගතිය කෙසේද යන්න පිලිබඳ මේ වන විට මුළු රටම දැනුවත්. ඒ සඳහා ඉදිරියේදීත් ප්‍රජා පොලිස් කමිටුවල ක්‍රියාකාරී දායකත්වය සහ සහයෝගය අපට අවශ්‍යයි. එලෙස ලැබෙන දායකත්වය තුළින් අපේ දරු පරපුර, අපේ පවුල්වල හිතවතුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් සහ පාතාල ක්‍රියාකාරකම් වලින් ගලවා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. එසේම තමන් අවට සිටින සියලු දෙනා මේ පිළිබඳ දැනුවත් කර නිසි මඟට ගැනීමටද විශාල මෙහෙවරක් ඔබට කළ හැකියි. ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් සහාය වීමට පොලිසියේ නිලධාරීන්, තරුණ සේවා සභාවේ නිලධාරීන් සූදානමින් සිටිනවා.

 මා මෙම අමාත්‍ය ධුරයේ වගකීම දරන තුරු, මත්ද්‍රව්‍ය සහ පාතාලු උවදුර තුරන් කරන තෙක් මේ මෙහෙයුම කිසිසේත් නතර කරන්නේ නැහැ. මීට විරුද්ධව සුළු පිරිසක් සමාජ මාධ්‍යවල යම් යම් අසත්‍ය ප්‍රචාර පැතිරවීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අප ඒ පිළිබඳව කලබල වන්නේ නැහැ.කවුරුන් බාධා කලත් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්ධනය කිරීම සඳහා  ආරම්භ කළ වැඩ කොටස අවසානය දක්වා අඛණ්ඩව සිදුකරගෙන යෑමට අප කටයුතු කරනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය අපට මඩ ගැසීම වෙනුවෙන්, ඇතැම් නීතිඥයින් හරහා විවිධ ප්‍රකාශ සිදුකිරීම හා විවිධ චෝදනා එල්ල කරමින් නඩු පැවරීම වෙනුවෙන් ඔවුන් වියදම් කරනවා. අපරාධ මෙහෙයවන පිරිස පසුපස සිටිමින් ඔවුන් ඉදිරියෙන් විවිධ පිරිස් තබා ගනිමින් අපට අපහාස කිරීමට කටයුතු කරනවා.නමුත් කොතරම් අපහාස කලත්, මඩ ප්‍රහාර එල්ල කළත්, නඩු පැවරුවත් අප පසුබට වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව විවිධ පාර්ශ්වවල පිරිස් කටයුතු කරනවා. ඇතැම් පොලිස් නිලධාරීන්ද ඊට සම්බන්ධ වී සිටිය හැකියි. නමුත් නීතිය සැමට එක සමානයි. අනිවාර්යෙන්ම නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. එළඹෙන ජුනි මස අවසන් වන විට රටේ විශාල වෙනසක් ඇති කිරීම අපේ අරමුණයි."

 ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක, සාගල රත්නායක මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.