Monday, October 21, 2024
Follow Us
අතුරුගිරිය මංසන්ධියේ පවතින රථ වාහන තදබදය වැළැක්වීමට කඩිනම් පියවර 

අතුරුගිරිය මංසන්ධියේ පවතින රථ වාහන තදබදය වැළැක්වීම කඩිනමින් අරඹ්භ කරන බව  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ පටන් අතුරුගිරිය මංසන්ධියේ පැයක, පැය එකහමාරක පමණ දැඩි රථ වාහන තදබදයක් ඇතිවන බවට ලැබෙන මහජන පැමිණිලි පිළිබඳ අවධානය යොමුකර එය නිරීක්ෂණය කිරීම සඳහා අද (19) උදෑසන 7.30 පමණ විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතුරුගිරිය මංසන්ධියට පැමිණියේ ය. 

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එස්.වීරකෝන් මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන්, කඩුවෙල නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඇතුළු වෙළඳ සංගම් නායකයින් හා ව්‍යාපාරික ප්‍රජාව මෙම මෙම අවස්ථාවට එක් වූ අතර විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඔවුන් සමග කඩිනම් වැඩ පිළිවෙල සම්බන්ධව සාකච්ඡා කළේය.

මෙහි දී අතුරුගිරිය මිලේනියම් සිටි හා වානේ සංස්ථාව හරහා කාපට් කොට නිමවෙමින් පවතින මාර්ගය අතුරුගිරිය මංසන්ධියට එක්වන විට ඉන් ඔබ්බට මාර්ගය දෙපස ඇති ව්‍යාපාරික ස්ථාන ඉවත්කොට ඒ සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදය කඩිනම් කොට ව්‍යාපෘතිය කෙටි කලකින් නිම කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙස කඩුවෙල ප්‍රාදේශීය ලේකම්තුමා වෙත විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දෙන ලදී.