Monday, October 21, 2024
Follow Us
සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් 

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

වෛද්‍යවරුන් හට ලබා දුන් රු.35,000 ක දීමනාව සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්  රෝහල් තුළ ක්‍රියාත්මක එක්දින වැඩ වර්ජනය හේතුවෙන් මෙම සාකච්ජාව පැවැත්වුණි.

වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දුන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ අද සවස මුදල් අමාත්‍යංශය සමඟ මේ පිලිබදව කතිකා කිරීමට විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කල බවත් මේ සදහා සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින්ට ද මේ සදහා සහභාගී වන ලෙසටද, අමාත්‍යවරයා ඉල්ලීමක් කල අතර එම විශේෂ සාකච්ජාවට සහභාගී වීමට වෘත්තීය සමිති නියෝජිතයින් කැමැත්ත පලකර සිටියේය.

සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිරතුරුව කටයුතු කරන බවත්, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා විශිෂ්ට මට්ටමක පවතින බවත් ඊට ජාත්‍යන්තර ප්‍රසාදය පවා ලැබෙන බවද, එහි සියලුම ගෞරවය මේ සදහා දායකත්වය දක්වන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් හට හිමිවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ජාමය අවස්ථාවයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෘත්තීය සමිත සන්ධානයේ නියෝජිතයින්ද සහභාගී වුහ.