Monday, October 21, 2024
Follow Us
ඖෂධ හිඟ මුදල් මෙම වසර තුළ ගෙවා අවසන් කරනවා - සෞඛ්‍ය ඇමැති

ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල්  බිලියන 13 ක මුදල  මෙම වසර තුළ ගෙවා අවසන් කරන බව  සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා  සිටියේය.

නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා බදු මුදල් එකතු කරන බවත් බදු ලබාගෙන අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෙනත් ඖෂධ වර්ග මිලදී ගැනීමට එම මුදල් යොදවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මුදල් ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රමුඛත්වය දක්වා මුදල් ලබා දෙන බවද කීය.

ඖෂධ 60 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය සැපයීම් අංශයේ හිඟයක් තිබෙන බවත් රෝහල්වලට ඖෂධ බෙදා හරිමින් තිබෙන අතර රෝහල්වල තිබෙන ඖෂධ අඩුපාඩු මිලදී ගැනීමට වෙනම ප්‍රතිපාදන ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරට අත්‍යවශ්‍ය ඖෂධ අටසිය ගණනක් තිබෙනවා. වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති ඖෂධ 60 න්  30 ක් මේ මාසය තුළ ලැබෙන බවත් රජය තුළ නොමැති ඖෂධ, අවශ්‍යතාව අනුව පෞද්ගලික අංශයෙන් හෝ මිලදී ගන්නා ලෙසට ප්‍රධාන රෝහල් වෙත උපදෙස් ලබා දී ඇතැයිද කීය.