Friday, October 25, 2024
Follow Us
සජිත් ද? ගෝඨා ද? ලංකා කම්කරු කොංග්‍රසය වැට උඩ!

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට එක්සත් ජාතික පක්‍ෂය ගත් තීරණයත් සමග මතෙක් කළක් මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිය දේශපාලන දීගය ගෙන ගිය මෙරට ඉන්දියානු සම්භවයක් සහිත ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී සිටින තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග‍්‍රසය දැඩි දේශපාලන අර්බුදයකට තල්ලූ වී ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපවරණයට ඉදරිපත් වීමත් සමගම තොන්ඩමන් මහතා සතුව වතුකරයේ තිබූ දේශපාලන ශක්තිය මුළුමනින්ම වෙනස්වී ඇති අතර පොහොට්ටුවේ අපේක්‍ෂකයා වෙනුවට සජිත්ට සහාය දිය යුතු බවට විශාල බලපෑමක් සිය පාක්‍ෂිකයින්ගෙන් තමන් වෙත එල්ල වෙමින් තිබෙන බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ලංකා නිවුස් වෙබ් වෙත පැවැසීය.

වතුකරයේ ද්‍රවිඩ ජනතාව එක්සත් ජාතික පක්‍ෂයට වැඩි ළැදියාවක් දක්වන පිරිසක් බැවින් ඔවුන් තම පක්‍ෂය අත හැර තනි තනි වශයෙන් තීන්දු ගැනීමට පෙර තම ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම් කන් දිය යුතු බවත් එසේ නොමැති වුවහොත් තම පක්‍ෂයට පසු ගිය කාලයේ අත් වු ඉරණම මෙන් දේශපාලන වශයෙන් හුදකලා වීමට සිදු වන බවත් ඉන් තම ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බවත් එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

ඒ නිසා පවතින දේශපාලන තත්වය හමුවේ හැකි ඉක්මනින් පක්‍ෂයේ මධ්‍ය කාරක සභාව කැදවා බහුතර කැමැත්ත මත තීරණයක් ගත යුතු බවත් ඒ සදහා තමන් ඇතුළු පක්‍ෂයේ පිරිසක් පක්‍ෂ නායකත්වයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියාසිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීම සම්බන්ධයෙන් වතුකරයේ දෙමළ ජනතාව එතරම් ප‍්‍රසාදයක් නොමැති තත්ත්වයත් තුළ තම පක්‍ෂය එම දේශපාලන කදවුර නියෝජනය කිරීමේ තේරුමක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

එය ඉදිරි මහ මැතිවරණ වලදී තමන්ගේ දේශපාලන ජයග‍්‍රහණවලට තදින්ම බලපාන බව පවසන ඔහු නිවැරදි තීන්දුවක් ගැනීමට පක්‍ෂ නායකත්වය මැළි වනනේ නම් තමන් ඇතුළු පිරිසට තීන්දුවක් ගැනීමට සිදු වනු ඇති බවද එම ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් අවධාරණය කළේය.

(LNW)