Friday, October 25, 2024
Follow Us
ශ්‍රීලනිප අවසන් තීරණය සඳුදා !

ජනාධිපතිවරණය සම්බන්ධ‍යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා (30) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. එහිදී මූලික වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානයකට යන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කරන බවයි වීරකුමාර දිසානායක මහතා පවසන්නේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ යන ප්‍රධාන දේශපාලන පක්ෂ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ සිය අපේක්ෂකයාද නම්කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රීලනිපය මේ වනතෙක් ජනාධිපතිවරණයට තරග කරන්නේද එසේ නැතහොත් වෙනත් අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවති නමුත් අවසන් එකඟතාවයකට පැමිණීමට අසමත් විය. ඊට හේතු වූ ප්‍රධාන ගැටලුව වන්නේ සන්ධානයක් පිහිටුවන්නේ නම් පොදු ලකුණකින් තරග කළයුතු බවට ශ්‍රීලනිපය යෝජනා කිරීම හා පොහොට්ටුව ලකුණ අතහැරීමට පොදුජන පෙරමුණ එකඟ නොවීමයි.

වීරකුමාර දිසානායක මහතා පවසන්නේ පොදු සන්ධානයක් ඇති වන්නේ නම් පොදු ලකුණකින් මැතිවරණවලට ඉදිරිපත් වියයුතු බවයි. ශ්‍රීලනිපය සිය පක්ෂයේ ලකුණ වන අත අත්හැරීමට සූදානම් නම් පොදුජන පෙරමුණ ඔවුන්ගේ පොහොට්ටුව ලකුණ අත්හැරීමට ද සූදානම් වියයුතු බවත්, ඊට අකමැති වීම ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

පොදු සන්ධානයකට අදාල ව්‍යවස්ථාව, ප්‍රතිපත්ති, උපායමාර්ග වැනි කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වම එකඟ වී තිබියදී ඡන්ද ලකුණ පිළිබඳව එකඟ වීමට නොහැකි වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගතයුත්තේ පොදුජන පෙරමුණේ පාර්ශ්වය බව ද වීරකුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

(LNW)