Friday, October 25, 2024
Follow Us
එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරී රැස්වීම අද

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පැවැත්වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයා නම් කර ඊට අනුමැතිය ලබා ගැනීම එහිදී සිදු කිරීමට නියමිතයි.

පස්වරු 03.00 ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන කියා සිටියේ මෙහිදී එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ක්‍රියාදාමය ක්‍රියාත්මක කරනු ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය එහි නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබා දීමට පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා තීරණය කළ බවට වාර්තා පළ වුණා.

ඒ සම්බන්ධයෙන් මතුගම නගරයේ ඊයේ (25) පැවැති ‘‘සජිත් එනවා’’ රැළියේදී ද, එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු කරුණු දැක්වුවා.

මුදල් අමාත්‍යංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවීරගෙන් ද මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඊට අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වූයේ "අපි ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරලා ප්‍රජාතන්ත්‍රවාදීව තෝරගෙන ඉවරයි. අපි හැමදේම කරන්නේ වෙලාවට. ඔය වෙලාසනින් පැනලා දීපු අය තමයි අද අමාරුවේ වැටිලා ඉන්නේ.. " යනුවෙනි.

(Neth)