Friday, October 25, 2024
Follow Us
සැලසුම් තිබුණට මදි ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් ඕනේ-ගෝඨා

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට දේශපාලන බලපෑම් කළ පුද්ගලයින් ඇය වහා හෙළි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම නව ආණ්ඩුව යටතේ නීතිය අවභාවිත කිරීමට කිසිවකුට ඉඩනොතබන බවද විපක්ෂ නායකවරයා කොළඹ පැවැති සම්මේලනයකදී සඳහන් කළේය.

සමූපාකාරික ජාතික මහා සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වු සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසා සිටියේ, සරත් ෆොන්සේකා මහතාට ලබා දිය හැකි උපරිම උපහාරය ලබා දුන් බවයි.

වත්මන් ආණ්ඩුවෙන් නාවික හා ගුවන් හමුදාවේ හිටපු හමුදාපතිවරුන්ටත් උපහාර පිරිනැමු බව පැවසු ඒ මහතා, මේ නායකයින් ඇතුළු සියලු දෙනා රැක බලා ගනු ලැබුවේ මඟ පෙන්නුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමතක වී ඇතැයි ද පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියයට 99 ක් අද වන විට පොහොට්ටුවට පැමිණ ඇතැයි පැවසු ඒ මහතා, ඉතුරු ටිකත් රැගෙන විත් ගෝඨාභය මහතාට ලබා දිය හැකි උපරිම උපහාරය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට එක් වු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, වැඩ කල හැකි නායකත්වයක් තිබිය යුතු යැයි ද පැවසීය.

“සැලසුම් තිබුණට මදි ඒවා ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් ඕනේ“ යනුවෙන් පැවසු ගෝඨාභය මහතා, ඉදිරියේ දී වැඩකරන එවැනි රජයක් යටතේ කටයුතු කරන බවද කියා සිටියේය.

සෑම විටම අඩුවෙන් කථා කර වැඩියෙන් වැඩ කළ යුතු බවත් පැවසු ඒ මහතා, ඉදිරියේ දී රට සෞභ්‍යමත් කිරීමට සියලු දෙනාට එක්වෙන්නැයි ද සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ආණ්ඩුව 19 වන සංශෝධනය ගෙන එනු ලැබුවේ අපිව නවත්තන්න වුවත් මුළු රටටම කැපී ගොස් ඇති බවයි.

නොවැම්බර් 16 වන දාට රනිල්ව ගෙදර යන හැටි බලමු යනුවෙන් පැවසු ඒ මහතා, රනිල්, සජිත් හෝ කරූ වේවා තුන්දෙනාම එකට එළවන්න අපි සුදානම් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ආණ්ඩුව මුළු කාලය තුළම පළිගැනීම් කළ බවත් පැවසීය.

අද නීතිපති දෙපාර්තමේන්තුවේ සොල්ස්ටර් ජෙනරාල්වරිය දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පවසනවා, තමාට දේශපාලන බලපෑමක් වුණා එනිසා ගෝඨාභයට නඩු දැම්මා යනුවෙන් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, අල්ලස් පනතෙන් ගෙන්වන්න බැරි මිනිස්සුන්ව ගෙන්නු බවද කියා සිටියේය.

බලපෑම් කළ ඇමතිවරු හෙළි කළ යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා, පොලිස්පතිවරයා නීතිය නවනවා යනුවෙන් පැවසු බවත් අපේ ආණ්ඩුවක් යටතේ කිසිවෙකුටත් නීතිය නැවීමට නොහැකි බවත් පැවසීය.

ඉන්අනතුරුව විශ්‍රාමිකයින්ගේ ජාතික සම්මේලනයද කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

(Lanka Leads)