Friday, October 25, 2024
Follow Us
එජාපය විසඳුමක් ආසන්නයේ. රනිල් - කරූ - සජිත් සාකච්ඡා සාර්ථකයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට විසඳුම් තුනක් පෙරේදා (22) පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරෙනු බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

එහි ඊළඟ පියවර වශයෙන් ඊයේ රාත්‍රියේ ද රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා වඩාත් සුදුසු නිස්කලංක ස්ථානය වශයෙන් ඔවුන් කථානායක නිල නිවසම තෝරාගෙන තිබුණු අතර සාකච්ඡාව වඩාත් විවෘතව සහ නිදහස්ව කරගෙන යාම සඳහා වෙනත් කිසිවකුගේ සහභාගීත්වයෙන් තොරව ඔවුන් තිදෙනා පමණක්ම සාකච්ඡා කිරීමටත් තීරණය කර තිබිණි.

ඒ අනුව ඊයේ (23) රාත්‍රී 08.30ට කථානායක නිල නිවසේදී ආරම්භ වුණු රනිල් - කරූ - සජිත් සාකච්ඡාව රාත්‍රී 10.30 දක්වා පැවැත්වී තිබිණි.

මෙහිදී කථානායක කරූ ජයසූරිය මහතා මූලික වශයෙන්ම අවධාරණය කර ඇත්තේ තමන් තිදෙනාගෙන් කවරෙකු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුවද තිදෙනාටම එජාප වේදිකාවේ එකට අසුන්ගෙන සිටීමේ හැකියාව ආරක්ෂා කරගත යුතුය යන්නයි. එනම්, පක්ෂයේ සමඟියට බාධාවක් නොවන අයුරින් තීරණයකට එළඹිය යුතු බවයි.

එම වටපිටාව ආරක්ෂා කරගත නොහැකි නම් තමන් මින් ඉවත්වන බව ප්‍රකාශ කර ඇති ඒ මහතා සියල්ලටම පෙර පක්ෂය පිළිබඳව සිතිය යුතු බව ප්‍රකාශ කර ඇති බවත් සඳහන්.

එසේම එක්සත් ජාතික පක්ෂයට රනිල් නැතිකරගැනීමටවත් සජිත් නැතිකරගැනීමටවත් නොහැකි බව ද අවධාරණය කර ඇති ඒ මහතා තමන්ට නම් ඕනෑම අවස්ථාවක විශ්‍රාම යාමේ හැකියාව පවතින බවත් සඳහන් කර තිබේ.

මේ පදනම මත ඉතාම සුහද මට්ටමෙන් තිදෙනා පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡාව අවසානයේ ඉතාම සතුටින් විසිර ගිය බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව දීර්ඝ කාලයක් පුරා ඇදුණු එජාප අපේක්ෂක අර්බුදය නිම කරමින් ඉදිරි පැය 48 තුළ අපේක්ෂකයා නම් කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

(LNW)