Friday, October 25, 2024
Follow Us
උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු : රැකියා දුන් හැටි සජිත්ගෙන් පැය 07ක් ප්‍රශ්න කෙරේ

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා නියමිත ප්‍රමාණය ඉක්මවා නීතිවිරෝධී ලෙස සේවකයින් බඳවා ගැනීම සහ එසේ බඳවාගත් සේවකයින් අතරිනුත් 95%ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගැනීම පිළිබඳ එල්ල වී චෝදනාව සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

2015 - 2018 සමයේ රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පැය 04ක් සහ කොමිසම හමුවේ පැය 03ක් වශයෙන් ඒ මහතා පැය 07ක කාලයක් සාක්ෂි ලබාදී තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පසුගිය අගෝස්තු 29 වනදා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරීනී ප්‍රියා පෙරේරා මහත්මිය කොමිසම හමුවට කැඳවා තිබුණු අතර එහිදී අනාවරණය වූයේ එම අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල 25ම සඳහා අනුමත සේවක සංඛ්‍යාව 2164ක් වුවත් මේ වනවිට 4500ක් සඳහා පත්වීම් ලබාදී ඇති බවයි. ඉන් 95%ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත් එහිදී අනාවරණය විය.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය සඳහා අනුමත සේවක සංඛ්‍යාව 77ක් වුවත් මේ වනවිට 1400 දෙනෙකු එහි සේවයෙහි නියුතුව සිටින අතර අවුරුදු 60ට වැඩි සේවකයින් සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු වුවත් එසේ නොමැතිව අවුරුදු 60ට වැඩි සේවකයින් 31 දෙනෙකු නීතිවිරෝධීව නිවාස සංවර්ධන අධිකාරියෙහි සේවයෙහි යොදවා සිටින බවත් ඒ මහත්මියගේ සාක්ෂියෙන් අනාවරණය වී තිබිණි.

කෙසේවෙතත් ඊයේ දිනයේ සාක්ෂි දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ "කිසි ප්‍රශ්නයක් නෑ" යනුවෙනි.

(LNW)