Friday, October 25, 2024
Follow Us
ගෝලයින්ගේ බාල ෆේස්බුක් ක්‍රියාකාරකම් නිසා සජිත් පිලට දැඩි හානි

සජිත් පාර්ශ්වයේ සමාජ මාධ ජාල ක්‍රියාකාරිකයින් ගෙනගිය අතිශයින් බාල අසත්‍ය ප්‍රචාරණයන් හේතුවෙන් සජිත් පිලට යම් හෝ අනුග්‍රාහකත්වයක් දක්වන මට්ටමේ සිටි ජ්‍යේෂ්ඨයින් පවා කලකිරීමට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා පවා වෙනස් වීමට මෙය බලපා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගියදා පැවති පූර්ව කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිව තිබුණු අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙකු උණුසුම් වචන හුවමාරු ද සිදුව තිබිණි. එහෙත් ඉන් එපිටට යන කිසිවක් සිදුව තිබුණේ නැත. එවැන්නක් සිදුවිණි නම් එයින් අනතුරුව කැබිනට් රැස්වීම පවත්වන්නට හැකි වන්නේ ද නැත.

නමුත් සජිත් පිලේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් මේ සම්බන්ධයෙන් පුවත් මවමින් සමාජ මාධ්‍ය ජාල තුළ පතුරුවා හැර තිබුණේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පුටුවක් ඔසවා පහර දුන් බවටයි. මෙම පුවත වේගයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුල පැතිර ගිය අතර ඉන් අනතුරුව සජිත් පිලේ ගෝලයින් කළේ අදාළ ව්‍යාජ පුවත සම්බන්ධ කරගෙන, රනිල්ට පහරදීම ගැන හරීන්ට සුබ පතමින් පෝස්ටු පළ කිරීමය.

මේවා හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුදැනුම ඇතිව සිදුවීයැයි සිතන්නට අපහසු වුවත් සජිත් පිලේ සමාජ මාධ්‍ය ජාල මෙහෙයුම් භාරව සිටින්නේ හරීන් ප්‍රනාන්දු මහතාම නිසා මෙහි වගකීම ඔහුගේ කරපිටටම පැටවී තිබේ.

අනෙක් අතින් මේ ප්‍රචාරණය නිසා එජාපයේ විරුද්ධවාදීන් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරයත් දැකගැනීමට පසුගිය දින කිහිපයේදීම හැකියාව ලැබිණි.

මෙසේ කිසිසේත්ම සිදු නොවූ පහරදීමක් ගැන අසත්‍ය පුවත් පළ කිරීම සහ තමන්ගේම පක්ෂ නායකයාට පුටුවකින් පහරදුන් බව කියමින් උදම් ඇනීම ගැන එජාපයේ ජ්‍යේෂ්ඨයින් සිය පිළිකුල පළ කර ඇත. මෙතරම් බාල හැසිරීමක් සජිත් පිළෙන් තමන් බලාපොරොත්තු නොවුණු බවයි ඔවුන් එකිනෙකා සමඟ සාකච්ඡා කර ඇත්තේ.

සාමාන්‍යයෙන් තමන්ගේ පිලට වාසි සහගත වන අයුරින් සමාජ මාධ්‍ය ජාල තුළ පුවත් මැවීම එතරම් ගණන් ගත යුතු නොවන දෙයකැයි පක්ෂ ජ්‍යේෂ්ඨයින් මුලදී සලකමින් හරීන්ගේ, අජිත් පී.ගේ සමහර ක්‍රියකාරකම් අතැර දමා තිබිණි. එහෙත් මෙය කිසිසේත්ම සමාව දිය හැකි කරුණක් නොවන බව ඔවුන් අවධාරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව තමන්ගේ ගෝලබාලයින් හසුරුවා ගැනීමට නොහැකි සහ පක්ෂයට හානි කරමින් ඉතාම පහත් මට්ටමින් හැසිරෙන ගෝලයින් පිරිසක් නඩත්තු කරන සජිත් පිල සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඉදිරියේදී නිසි මොහොතේ නිසි තීන්දු ගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)