Friday, October 25, 2024
Follow Us
තිස්ස අත්තනායක යළි පුවත් මවයි!

එජාප නියෝජ්‍ය නායක නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය.

තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පළකිරීම සම්බන්ධයෙන් පළවී තිබෙන වාර්තාවන්ගේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් තමන්ගේ ස්ථාවරය ලබන බදාදායින් පසු හෙළි කරන බවයි අත්තනායක මහතා කියාසිටියේ.

පවත්නා දේශපාලන අස්ථාවරත්වය හමුවේ මේ වන විට තමන්ද තීන්දුවක් ගෙන ඇති බව අත්තනායක මහතා සඳහන් කළේය.

2015 දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ව සිටියදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීම නිසා අත්තනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත් අතර පසුව මහ ලේකම්ධූරයට එජාපය කබීර් හෂීම් මහතා පත්කරන ලදී.

පසුගිය කාලය තුළ වරින් වර තිස්ස අත්තනායක මහතාද පුවත් මවමින් සිටි අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්ද අදහස් පළකළ අතර ඇතැම් අවස්ථාවලදී යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සම්බන්ධයෙන්ද ඉඟි පළවිය.

ශ්‍රී ලාංකේය දේශපාලන පිටියේ උදේ ගන්නා තීන්දුව සවස් යාමය වන විට වෙනස් වන තත්ත්වයක මේ පුවත් මවන දේශපාලනට හෙට දිනයේ තිස්ස අත්තනායක මහතාද තවත් අඩු වැඩිය සපයා නොසිටිවී යැයි සිතිය නොහැකිය.

(LNW)