Friday, October 25, 2024
Follow Us
ගෝඨාභයගෙන් මුස්ලිම් ප්‍රජාවට පොරොන්දුවක්

රට සුරක්ෂිත කරන සහ ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් සහිත රජයක් බිහිකිරීමට මුස්ලිම් ප්‍රජාවගේ ද සහය අවශ්‍ය බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මුස්ලිම් ජනතාව අතර තමා පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය කර ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට හේතුවූයේ ද, එවැනි වැරදි ප්‍රචාර බවත්, ඔහු ප්‍රකාශ කළා. එවැනි වැරදි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියේ. ඒ, හලාවත කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත්වලට අද (22) පස්වරුවේ එක්වීමෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පුත්තලම ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට පැමිණ අද ආශිර්වාද ලබා ගත්තා. එහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තෝප්පුව මංසන්ධියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමක්.

පසුව දුම්මලදෙණිය ශ්‍රී සුමනාරාම පිරිවෙන් විහාරස්ථානයට පැමිණි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ආගමික වතාවත්වල ද නිරත වුණා. පසුව මුන්නේෂ්වරම් කෝවිල වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තා.

(Neth)