Friday, October 25, 2024
Follow Us
අගමැති කැමති නම් ජනාධිපතිවරණයට මම සූදානම් - කරූ කියයි !

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව ඇතිව අභියෝගයක් ලෙස තමන් වෙත භාර කෙරෙන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට තමන් සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කරූ ජයසූරිය මහතා මේ බව පැවසුවේ අද (22) දිනයේ පැවති රනිල් - සජිත් - කරූ සාකච්ඡාවලින් අනතුරුව ලංකා නිව්ස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

අද දිනයේ කථානායක නිල නිවසේදී රනිල් වික්‍රමසිංහ මහතා, සජිත් ප්‍රේමදාස මහතා කරූ ජයසූරිය මහතා අතර වෙන් වෙන්ව සාකච්ඡා කිහිපයක්ම පැවැත්වී ඇති අතර පක්ෂයේ බෙදීමකින් තොරව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුව අපේක්ෂකයා නම් කිරීමට මූලික එකඟතාවකට පැමිණ තිබෙන බවයි වාර්තා වූයේ. මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී ද රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් අප කළ විමසීමකදී කථානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ තමන් මීට පෙර නිවේදන දෙකකින් ම අවධාරණය කළේ පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට තමන්ට කිසිසේත්ම වුවමනාවක් නොමැතිය යන්න බවයි. එසේම පක්ෂය බෙදීමකට ලක් නොවී අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම අභියෝගයක් ලෙස තමන්ට භාර කෙරෙන්නේ නම් කිසිදු පැකිළීමකින් තොරව එම අභියෝගය භාරගෙන පක්ෂය වෙනුවෙන් එය ඉටු කරන බවත් ඒ මහතා අප වෙත සඳහන් කළේය.

"සජිත් කියන්නේ හොඳ ජවසම්පන්න තරුණයෙක්. සජිත්ට පැහැදිලි අනාගතයක් පක්ෂය තුළ තියෙනවා. ඒක ස්ථිරයි. අපි බෙදීම් ඇති කරගන්න අවශ්‍ය නෑ. එහෙම නොවී අගමැතිතුමා කියනවා නම් මම සටනට සූදානම් !" යනුවෙනුයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(LNW)