Thursday, October 24, 2024
Follow Us
වෙනම තරග කරන්න හැකියාව අපට තියෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය ගැන කතා කළොත්.

අපි අතරේ පවතින ප්‍රතිපත්තිමය කරුණු කාරණා ගැන නම් ගැටලුවක් නැහැ. ඒ කරුණු කාරණාවන්ට අමතරව ජාතික සම්පත් සුරැකීම අධිරාජ්‍යවාදී බලපෑම්වලට මුහුණ දීම පෞද්ගලිකකරණය වැනි ජාතික වැදගත්කමකින් යුතු කරුණු ගැනත් කතා කළා.
ඒ සම්බන්ධයෙන් එකඟතාවන්ටත් ඇවිත් තිබෙනවා. ඒ පිළිබඳ ගැටලු නැහැ.

ඊළඟට අපි බලන්න ඕනෑ සන්ධානගත වෙන්නෙ කොහොමද කියන එක. මෙහිදී වැදගත් ම දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරන්නෙ පක්ෂයේ ගෞරවය රකින්නේ කොහොමද කියන එක. මොකද අපි කරන්නේ ජනාධිපතිතුමාගෙවත් මගේවත් පෞද්ගලික ව්‍යාපෘතියක් නෙමෙයි. ගමේ පාක්ෂිකයන්ගේ එකතු වීමත් මෙතැනට අවශ්‍යයයි. දෙපාර්ශවය එකතු වීමට වඩා පහළ මට්ටමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එකතු කර ගැනීමත් අවශ්‍යයයි.

ඉතින් ඒ අරමුණු සමගයි අපි සාකච්ඡා පටන් ගත්තේ. නමුත් දැන් මේ වෙද්දි සන්ධානගත වෙලා ජනාධිපතිවරණයට තරග කරන ලාංඡනය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර අපේ මන්ත්‍රී කණ්ඩායමත් මේ ගැන කතා කළා. ඒ සියලුදෙනාගේ අදහස වන්නේත් පොහොට්ටුව ලාංඡනය නොමැතිව වෙනත් පොදු ලකුණක් අවශ්‍යයයි කියන එකයි. ඒ වගේම ගම්මට්ටමෙන් පවා පොදු ලකුණක අවශ්‍යතාව ගැන අපට කියලා තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පසු ඉදිරි මැතිවරණවලට මුහුණ දීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් තවත් මාස තුනහමාරක් ආණ්ඩුව පවත්වාගෙන යා යුතුයි. ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කළා.

ලාංඡනය ප්‍රශ්නයක් කියන්නේ දෙපාර්ශ්වයේ සාකච්ඡා අසාර්ථක වන කඩඉම ද?

ඔව්. අපි දැඩි ලෙස ම ඉන්නවා පොදු ලංඡනයක් අවශ්‍යයි කියන තැන. මේ සන්ධානය වෙනුවෙන් අපි සාකච්ඡා කරන්න අත ඉස්සුවේ බොහොම කැමැත්තෙන්. නමුත් පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා නම් කරන විට හෝ අගමැති අපේක්ෂකයා නම් කරන විට හෝ අපෙන් කිසිදු විමසීමක්වත් කළේ නැහැ.

ඉතින් තවදුරටත් සාකච්ඡා මේසයේ දී අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවා ද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තියෙනවා. ලාංඡනයට අදාළව අපේ ඉල්ලීම ඉටු නොවෙන තත්ත්වයකදී අපි සන්ධාන ගත වෙනවා කියන්නෙ අපි නිකම්ම පොහොට්ටුවට ගියා වගේ වැඩක්. ඒකට කවුරුත් කැමති නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යන්නවත් එක්සත් ජාතික පක්ෂයට යන්නවත් කැමති නැහැ.

අපි සාකච්ඡා කරලා තියෙන විධියට හදන සන්ධානයේ නම ශ්‍රී ලංකා පොදු ජන ඒකාබද්ධ පෙරමුණ වගේ නමක් එන්නේ. ඉතින් නම ඒ විධියට වෙනස් කරන්න කැමතියි. නමුත් පොහට්ටුව වෙනස් කරන්න කැමති නැති වීම ගැටලුවක් නේ. ඒ නමට පොහොට්ටුව ලාංඡනය කොහොම ද ගන්නෙ. ඒ වගේ තාර්කික කරුණුවල හිරවෙලා ඉන්නේ අපි.

යම් විධියකින් ලාංඡනය වෙනස් කරන්න එකඟතාව ලැබුණොත් ජනාධිපති අගමැති යන තනතුරු දෙක ම පොදුජන පෙරමුණට දෙන්න එකඟයි ද?

ඒ අය ඒවා තීරණය කරලා ඉවරයිනේ. කොහොමත් අගමැති තනතුර ගැන කතා කරන්න වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය දිනේ. ඒ ගැන කතා කරලා එකඟතාවන්ට එන්න කල් තියෙනවා. ඊට කලින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය පරාජයට පත් වුණොත් සියල්ල ඉවරයි. ඒ නිසා වැදගත් වෙන්නේ දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නේ පොදුජන පෙරමුණට දැනෙන්න ද?

නෑ. එවැනි අරමුණක් තිබුණෙ නැහැ. මේ සාකච්ඡා අසාර්ථක වුණොත් අපි මොකද කරන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. එකක් අපිට පුළුවන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. නැත්නම් තවත් සන්ධානයක් ගැන හිතන්න. ඒ විකල්ප ගැන අපි හිතනවා. අපි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණය කළේ මේ තත්ත්වය මතයි.

තනිව යනවා නම් ඒ අපේක්ෂකයා වර්තමාන ජනාධිපතිවරයා විය හැකිද?

තවම එහෙම තීරණයක් නැහැ. ඒ තීරණය ගත යුත්තේ පක්ෂයෙන් .

නෙළුම් කුලුනේ ගිවිසුමට අදාළව ජනාධිපතිවරයා බරපතළ චෝදනාවක් කළා. මෙවැනි කතා දෙපාර්ශ්වයේ සාකච්ඡාවන්ට බාධාවක් වෙන්නේ නැද්ද?

නෑ එහෙම බාධාවක් වෙන්න හේතුවක් නැහැ. එහෙම නම් අපිත් එක්ක සාකච්ඡා කරන අතරේ එස්. බී.දිසානායකටයි ඩිලාන් පෙරේරාටයි පොහොට්ටුවේ සාමාජිකත්වය දුන්නේ. ඒක මීට වඩා බරපතළ කාරණාවක්. එහෙම තියෙද්දිත් අපි සාකච්ඡා මේසයෙන් ඉවත් වුණේ නැහැ. ඉතින් ජනාධිපතිතුමාගේ කතාව සාකච්ඡාවන්ට බාධාවක් වෙයි කියලා හිතන්න බැහැ.

කුමන තත්ත්වයක දී හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරග කිරීමේ හැකියාව තියෙනව ද?

අනිවාර්යයෙන් ම ඒ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. වෙනම තවත් සන්ධානයක් හදනවා ද නැද්ද කියන විකල්පයත් අපිට තියෙනවා.
කොහොම වුණත් ජයග්‍රහණය කරනවා ද නැද්ද කියන කාරණයට වඩා අපි අපේ පක්ෂයේ අනන්‍යතාව රැක ගැනීම ප්‍රධාන කාරණය වෙනවා. වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් කරන්නේ ඒ මතයේ සිටයි.

පවතින තත්ත්වය බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මානසික තත්ත්වයට කොහොම ද බලපාලා තියෙන්නේ. ඒ අයගේ කැමැත්ත තනිව තරග කිරීම ද නැත්නම් සන්ධානයටද?

බිම් මට්ටමේ බහුතරය කැමති වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නයි. සන්ධාන ගත වෙන්න අකැමැති පිරිසක් ඉන්න අතරෙ තවත් පිරිසක් ඉන්නවා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන මතයේ.

මේ හැම දෙයක් ම හැම මතයක් ම සමගම තමයි අපි ඉදිරියට යා යුත්තේ. අපි ඒ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා. තවත් දින කිහිපයක් ඇතුළත තීරණාත්මක තීන්දු තීරණවලට එළඹෙන්න සිද්ධ වෙනවා නේද?

අපි බලනවා පුළුවන් තරම් ඉක්මනින් සාකච්ඡා අවසන් කරලා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් තෝර ගන්න. ඉදිරි සතිය ඇතුළත සාකච්ඡාවල අවසානයක් දකින්න, අවසන් තීරණයකට එන්න අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස ඔබ ටික දිනක සිට ජනතා විමුක්ති පෙරමුණ ගැන බොහොම උනන්දුවෙන් කතා කරනවා. සන්ධාන ගත වෙන්නවත් අපේක්ෂාවක් තියෙනවද?

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඉතාම හොඳ තත්ත්වයක ඉන්නේ. ඉතාම හොඳ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගෙමින් එනවා. ඔවුන් මේ රටේ තියෙන තත්ත්වයන් ගැන විශාල ලෙස විවේචනශීලී ඇසකින් බලන්නේ. අනාගතයෙ දී අපිට ඒ අය සමග එකතු වෙන්න පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණ රට ගැන හිතන විධිය ඉතාම නිවැරදියි. මූලික ම දේ ඒ අය ජාතිවාදී නොවීම. දෙවනුව රට ගොඩනැගීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔවුන් පැහැදිලිව දකිනවා. ඒ වගේම වත්මන් දේශපාලන පක්ෂ හා නායකයන් ගැන ඔවුන්ගේ විවේචන ඉතාම සාධාරණයි.

ඒ වගේම හොරකමට වංචාවට දූෂණයට ඔවුන් විරුද්ධයි. අවංකව සේවයක් කිරීමේ වුවමනාව ඔවුන්ට තිබෙනවා. වසර 71ක් තිස්සේ මේ රට පත්ව ඇති අගාධයේ තරම කොතරම් ද කියලා හිතන්නත් අමාරුයි. ඉතින් ඒ විනාශයට ඍජුවම චෝදනාව එල්ල වෙන්නේ දේශපාලකයන්ට.

ඉතින් තවත් ඉදිරියටත් ඒ අභාග්‍යයට ම මුහුණ දීමට සිදු වීම ඛේදවාචකයක්. ඒ නිසයි ජනතා විමුක්ති පෙරමුණේ විවේචන සමග අපිටත් එකඟවීමට හැකි වෙන්නේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිරිසුදු පක්ෂයක් බවට පත්වෙමින් තියෙන්නේ. හොරු , ජාතික දේපළ කොල්ල කෑ පිරිස් දැන් පක්ෂයෙන් හීන වෙමින් යනවා. ඉතින් පක්ෂයත් පිරිසුදු කරගෙන යන ගමන් පිරිසුදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩියි. ඒ නිසා මම විශ්වාස කරනවා ඔවුන් සමගත් සාකච්ඡාවක් කළ යුතුයි කියලා.

ජ.වි.පෙ. සමග සාකච්ඡාවකට ඉඟියක් එහෙම දීලා තියෙනව ද මේ වෙද්දි.
තවම නැහැ.

එස්. බී. දිසානායක ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
පක්ෂයෙන් ඔවුන් ඉවත් වීම පිළිබඳව ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසුවා. ඔවුන් දුන් පිළිතුරු පිළිගත නොහැකියි. ඒ කරුණුවලින් සෑහීමකට පත් විය නොහැකි ය කියන ස්ථාවරයේ සිටිමින් ඉතාම ඉක්මනින් අපි විනය පියවර ගන්නවා.

හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවේ නායකත්වයට පත් වුණා. නමුත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. නමුත් එස්. බී. දිසානායක ඇතුළු පිරිසට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. සාමාජිකයන්ට හැඳි දෙකකින් ද බෙදන්නෙ?

පිළිතුර- මධ්‍යම කාරක සභාව තීරණය කරන ආකාරය මතයි අපි ක්‍රියාත්මක වෙන්නේ.

මධ්‍යම කාරක සභාව මුලින්ම තීරණය කළේ ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා පොදුජන පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයට එක් වෙලා ඉන්න අය සම්බන්ධයෙන් පියවර ගැනීමටයි. අනාගතයෙදි සෙසු අය පිළිබඳව අවශ්‍ය පියවර ගන්නවා.

එස්. බී. දිසානායක ප්‍රකාශයක් කළා තමන් ඇතුළු පස් දෙනා ඉවත් කරන්න මධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ පක්ෂයේ සභාපතිට හැර ලේකම්ට මන්ත්‍රීවරු ඉවත් කරන්න බලයක් නැහැ කියලා.

එතුමා දන්න නීතිය තමයි ඒ. පක්ෂ ව්‍යවස්ථාව අනුව තමයි අපි කටයුතු කරන්නේ. විනය පරීක්ෂණවලට අදාළව ආරම්භ කළ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙන මේ මොහොතේ ආණ්ඩුව රාජ්‍ය ආයතනවල විශාල වශයෙන් පත්වීම් දෙමින් ඉන්නවා.
මේ තත්ත්වය අපේ රටේ පවතින විශාල අර්බුදයක්. පසුගිය කාලෙත් දිගින් දිගට ම මේ ගැටලුව තිබුණා. නිවැරදි ක්‍රියාවලියක් තිබුණේ නැහැ. ඉතින් මේ ඡන්දයටත් මුවා වෙලා යළි පත්වීම් ලබා දීම බරපතළ තත්ත්වයක්. මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීම සඳහා මෙහෙයවීමක් අවශ්‍යයයි.

(Aruna)