Thursday, October 24, 2024
Follow Us
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමත් සමග පොදුජන පෙරමුණ කඩිනම් තීරණ කිහිපයක් ගනී

කඩිනමින් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.

ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ඊයේ (18) ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ සංවිධාන සහ ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) රාති‍්‍රයේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන දෙදෙනාම සහභාගි වන ජනරැළි 8 ක් තෝරාගත් දිස්ති‍්‍රක්ක 4 කදී පැවැත්වීමටයි.

සෑම මැතිවරණ කොට්ඨාසයකම එම දෙදෙනාගෙන් එක් අයෙකු හෝ සහභාගි වන ජන රැළිය බැගින් සංවිධාන කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු ප‍්‍රශස්ථ මට්ටමේ නොමැති බවට හදුනාගත් දිස්ති‍්‍රක්ක 5 ක සම්බන්ධීකරණ කටයුතු සඳහා වෙනත් දිස්ති‍්‍රක්කවල පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 5 දෙනෙකු පත් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

එලෙස හඳුනාගත් දිස්ති‍්‍රක්ක වන්නේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ බදුල්ලයි. ඒ අනුව යාපනය දිස්ති‍්‍රක්කය සඳහා සනත් නිශාන්ත මන්තී‍්‍රවරයාත්, මන්නාරම දිස්ති‍්‍රක්කයට නිමල් ලංසා මන්තී‍්‍රවරයාත්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සම්බන්ධීකරණ කටයුතු සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයාත් පත් කර තිබෙනවා.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ සම්බන්ධීකරණ කටයුතු භාරදී ඇත්තේ ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාටයි. මෙම දිස්ති‍්‍රක්ක පහේම සම්බන්ධීකරණ කටයුතු අධීක්‍ෂණය කිරීම පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසිල් පේ‍්‍රමජයන්ත් වෙත පවරා තිබෙනවා.

(Neth)