Thursday, October 24, 2024
Follow Us
සජිත් පිලෙන් මංගලටත් දරුණු කැපිල්ලක් !

සජිත් පිලේ මේ වනවිට අති ප්‍රබලතමයා වන මංගල සමරවීර මහතාට ද සජිත් පිලෙන්ම දරුණු කැපිල්ලක් සිදුවී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සඳහා එම පක්ෂය විසින් ඊයේ (18) කමිටුවක් පත් කර ඇත. එම සිව් පුද්ගල කමිටුවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේශ් වීරක්කොඩි සහ සජිත් පිල නියෝජනය කරමින් කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර යන නියෝජිතයින් පත් කර තිබේ.

මෙහි කැපී පෙනෙන සිදුවීම වන්නේ අතිශයින් තීරණාත්මක මෙම කමිටුව සඳහා සජිත් පිලේ වැඩිම බරක් අදින පුද්ගලයා වන මංගල සමරවීර මහතාව නම් නොකිරීමයි. එසේම ඊට මංගල වෙනුවට වෙනත් අයෙකු නම් කරන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ ද සජිත් ප්‍රේමදාස මහතා විසින්ම වීමයි.

මංගල සමරවීර යනු කලක් ශ්‍රී ලාංකීය දේශපාලනයේ "ලිබරල් සලකුණ" වී සිටි පුද්ගලයාය. ඔහු දශක තුනක සිය දේශපාලන භාවිතාව තුළින් ඒ ලිබරල් සංකේතය ආරක්ෂා කරගත්තේය. එහෙත් මීට මාස දෙකකට පෙර ඔහුම එම ලිබරල් වටිනාකම පවා බිඳගනිමින්, තමන්ගේ දේශපාලන දිවියේ තිස් වසරක සියලුම දේශපාලනික වත්කම් සජිත් වෙනුවෙන් කැප කරමින් සජිත්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා කරවීමට එක්විය.

සාම්ප්‍රදායික සිංහල බෞද්ධ දේශපාලනය අනුයන සජිත් වෙනුවෙන් පෙනී සිටීම යනු මංගලගේ ලිබරල් දේශපාලනයේ සියදිවි නසාගැනීමය. ඒ අනුව එතෙක් "ලිබරල් සලකුණ" වී සිටි මංගල මින් ඉදිරියට පවතින්නේ "ලිබරල් මළකුණ" වශයෙනි.

එවන් වූ කැපකිරීමක් කරමින් සජිත් වෙනුවෙන් පේවූ මංගලව මෙම අතිශයින් තීරණාත්මක කමිටුවට පත් නොකර සජිත් විසින්ම හළා දැමීම සරල සංසිද්ධියක් නොවේ.

සජිත් පාර්ශ්වයේ කටයුතු සිදු කෙරෙන්නේ සජිත්ටම වුවමනා හැටියෙන් ද නොවන බව අපි මීට පෙර පැවසුවෙමු. මේ පෙන්නුම් කෙරෙන්නේ සජිත්ව හසුරුවන අදෘෂ්‍යමාන බලවේගය මෙවන් අවස්ථාවක පවා මංගලගෙන් ඇරියස් අල්ලන ආකාරයයි.

(LNW)