Thursday, October 24, 2024
Follow Us
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය නොපවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශවාසීන් තිදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් සිව්දෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ 2017 වසරේ ඡන්ද අපේක්ෂක නාම ලේඛනය යටතේ අදාළ මැතිවරණය නොපවත්වන ලෙසය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නව නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා වහාම මැතිවරණයක් පවත්වන ලෙසට පසුගිය 30 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගය අනුව ලබන ඔක්තෝබර් 11 වන දා එම ඡන්දය පැවැත්වීමට පියවර ගෙන ඇති බව පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මැතිවරණ කොමිෂන් සභාව එලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇත්තේ එම කොමිෂන් සභාව රැස්වීමකින් තොරව බැවින් මැතිවරණය ප්‍රකාශයට පත් කරමින් පසුගිය 2 වන දා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ද නීතියට පටහැනි බවයි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ගැසට් නිවේදනය ප්‍රකාරව මැතිවරණයක් පැවැත්වීම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් මෙන්ම එලෙස මැතිවරණයක් පැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

(Aruna)